රවී යළි කැබිනට්ටුවට : ජනපතිත් කැමතියි!



එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටුවේ දී අවසන් එකඟතාවයකට පැමිණ ඇතිබව වාර්තාවේ.

ඒ, යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති දීර්ග කතාබහකින් අනතුරුවය.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබේ.

නීතිපතිගේ මතය ලබන සතියේ !

බැඳුම්කර කොමිසම් වාර්තාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව නීතිමය තත්වය ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට මිට ඉහතදී කළ දැනුම්දීමකට අනුව නීතිපති මතය ද ලබන සතියේ ප්‍රකාශ වීමට නියමිතය.

බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් කරුණු වලට අනුව රවී කරුණානායක මහතා එම සිද්ධියට සෘජු ලෙස සම්බන්ධ නැතිබව එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් දේශපාලන කමිටු සාමාජිකයින්ගේ මතය වී ඇත.

විශාල පාඩුවක් :

මේ අතර රවී කරුණානායක මහතාට යලි ඇමතිධුරය ලබාදෙන ලෙස එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර ඇතයි ' සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමටත් කොළඹ දිස්ත්‍රීක්කය තුල එක්සත් ජාතික පක්ෂයේ බලය අඛණ්ඩව පවත්වා ගේනයාමටත් විශාල කාර්ය භාරයක් ඉටුකළ රවී කරුණානායක මහතා මේ මොහොතේ ඇමති ධුරයෙන් ඉවත්කර තැබීම පක්ෂයට බරපතල ලෙස අවාසිදායක බව එම මන්ත්‍රීවරුන් පිරිස අගමැතිවරයාට පෙන්වා දී ඇත.

ඉහත පසුබිම් යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට නුදුරේදීම යළිත් කැබිනට් අමාත්‍යධුරය ස්ථිර වශයෙන් ම හිමිවීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Ad
Powered by Blogger.