Ad

පොහොට්ටු සභාපති මන්ත්‍රීට පහර දෙයි : මන්ත්‍රී කරාපිටිය රෝහලට.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභා ගර්භය තුලදී සිදු වු පහර දීමක් හේතුවෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා  රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.  

අද (18) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාව එහි සභාපති ඒ.වී.සරත් කුමාර ( ශ්‍රීලංකා පොදුජන පෙරමුණ) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශීය සභාව අද දින ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී ආරම්භ විය. සභාව ආරම්භ වී සුළු මොහොතකින් එක්සත් ජාතික පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා සභාපතිවරයාගේ අනුරුව සහිත පඹයෙකු සමඟින් සභාවට පැමිණි අතර එයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය දක්වන්නට විය. 

"මේ සභාව ගමට වැඩක් කරන්නේ නෑ, මේ වගේ සභාපතිවරු ඉන්නවට වඩා හොදයි පඹයෙක් ඉන්න එක. මෙහෙම සභාපතිවරු අපිට එපා"

කියමින් අරුණ මන්ත්‍රීවරයා සභාව හරහා යමින් සභාපතිවරයාගේ ආසනය ආසන්නයටම පඹයා රැගෙන ගියහ. මෙහි දී සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් තැබු අතර ඒ සමඟින් ඇතිවුයේ උණුසුම් තත්වයකි. 

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහුව සබාවෙන් ඉවත් කිරීමට කටයුතු කර අතර එහි දී ඇති වුයේ ගාල ගෝට්ටියකි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයා වට කරගනිමින් ඔහු සහ ඔහු අතැතිව සිටි පඹයා සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟින් එහි සිදු වුයේ ගුටිබැට හුවමාරුවකි.

මේ අතරතුර අරුණ මන්ත්‍රීවරයා අත තිබු පඹයා ඔහු අතින් ගිලිහුණ අතර මන්ත්‍රීවරුන් අතර වු පොරබැදීම නිසා අරුණ මන්ත්‍රීවරයා උඩ මහලේ සිට පහල මාලයට දිව ගොස් තිබු අතර පසුව ඔහු ඉමදුව ප්‍රාදේශීය සභාවේ ඉදිරිපිට වැටී සිටියේ තමාට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පහරදුන් බව කියමිනි. 

අනතුරුව සභා සේවකයින් විසින් මන්තීවරයාට වතු වීදුරවක් ලබා දුන් අතර පසුව 1990 ගිලන් රථ සේවය ගෙන්වා ඔහුව රෝහල් ගත කිරීමට සභා සේවකයින් සහ ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කරන ලදී. ගිලන් රථ සේවකයින් විමසීමේ දී අරුණ මන්ත්‍රීවරයා කියා සිටියේ සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බවත් තමාගේ ඔළුව සහ පපු ප්‍රදේශය රිදෙන බවත් තමාට නැගීමට නොහැකි බවත්ය. කෙසේ නමුත් ගිලන් රථයට මන්ත්‍රීවරයා ගත් නමුත් මන්ත්‍රීවරයා වෙනුවෙන් භාර කාරයෙකු නොමැති වීම නිසා ගිලන් රථය රෝහලට යෑම සදහා විනාඩි 15 ක් පමණ ප්‍රමාද විය. පසුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී උදාන කුසුම්සිරි මහතා විසින් ගිලන් රථයට කරුණු පහදා මන්ත්‍රීවරයා රෝහල් ගත කරන ලෙස දැනුම් දෙන ලදී.

පසුව නැවත සභාව ආරම්භ වු අතර එහි දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කියා සිටියේ මෙම මන්ත්‍රීවරයා සෑම දිනම සභාවට නොගැලපෙන දෙයක් සිදුකර සභාව අපකීර්තියට පත් කරන බවයි.

මෙහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන රැවින් මන්තින්ද හා උදාන කුසුම්සිරි හා එජාප  මන්ත්‍රීවරුන් මෙම පහරදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කලේය. 

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදාන කුසුම්සිරි (ශ්‍රීලනිප)

"ඕනෑම මන්ත්‍රීවරයෙකුට තම විරෝධය ප්‍රකාශ කරන්න අයිතිය තියනවා. ඒකට පහර දෙනවට අපි විරුද්ධයි."

1990 ගිලන් රථ සේවය මඟින් ඉමදුව රෝහලට ඇතුලත් කර අරුණ මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර  සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදී.

(සටහන හා ඡායාරූප : සුනෙත් ගාල්ලගේ ගාල්ල)


No comments:

Powered by Blogger.