113 පෙන්නනවා කිව්වේ කවුද ? : අලුත් ආණ්ඩුවේ ගැටුම් ඇවිලේ.

පාර්ලිමේන්තුවේ 113 ක බලය පෙන්විය හැකි බව පළමුව පැවසුවේ කවුද යන්න සම්බන්ධව මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයන් අතර විවාදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේනගේ පාර්ශවය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.. දිසානායක හරහා පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව කියමින් කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමේ තීන්දුව ගත යුතු බවට පළමු නිර්දේශය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ බවය.

එහෙත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා සියල්ල සූදානම් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ  මහින්ද රාජපක්ෂ වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබාගන්නා ලෙස ආරාධනා කර සිටියේ ජනාධිපති සිරිසේන බවය. 

එසේම පසුගියදා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේ මහින්ද රාජපක්ෂද සඳහන් කර සිටියේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව කියමින් අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කර සිටියේ ජනාධිපති සිරිසේන බවය.

ඇමතිකම් ඕන කියාගෙන  පොහොට්ටු කචල් කරළියට !

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යධුර ලබා නොගැනීම සම්බන්ධව මේ වන විට එම පාර්ශවය තුළ බරපතල අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට පසුගිය දින කිහිපය පුරා පැවති මේ අර්බුදය රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ අනාවරණයෙන් පසුව ඔඩුදුවා ඇති අතර මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය - පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයන් සමඟ බහින්බස්වෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අත්තෙන් අත්තට පැනපු ඩිලාන්ට වුණ දේ !

ඒ අනුව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා තමන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තරම් අර්බුදයක් තිබු බවත් ඒ සියල්ල සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට යාම නිසා බව කියමින් අමාත්‍යධුරයක් ලබාදීමට මැදිහත් වන ලෙස මහින්ද - බැසිල් පාර්ශවය හමුවී ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

එහිදී යහපාලනයට සම්බන්ධව සිටි අමාත්‍යවරුන් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ වගකීම ඇත්තේ ජනාධිපති සිරිසේනට බව කියමින් ඔවුන් ඩිලාන් මන්ත්‍රීවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය - පොදුජන පෙරමුණේ කිසිවෙක් අමාත්‍යධුර ලබා නොගන්නා ප්‍රතිපත්තියක සිටින බවද පවසා ඇතැයි ද දැනගන්නට ඇත.

පසුව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවී පසුගිය මහ මැතිවරණයේදී තමන්ට බදුල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීමට හෝ අවස්ථාවක් නොලැබුණ බවත් එහෙයින් ඉදිරියේ කඩිනම් මැතිවරණයක් පැවතිය හැකි බව පෙන්වා දෙමින් අමාත්‍යවරයෙක් ලෙස දිව්රුම්දීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ඇත.

එහිදී ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ තමන් රාජපක්ෂලා සමඟ ඇතිකර ගෙන තිබෙන එකඟතාව හේතුවෙන් තනි තීරණයක් ගත නොහැකි බවත්, අමාත්‍ය ධුරයක් අවශ්‍ය නම් රාජපක්ෂලාගේ එකඟතාව ලබාගෙන එන ලෙසය.

වෙල්ගම වැඩ අල්ලයි !

මේ අතර පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ බැසිල් රාජපක්ෂ අතරද අමාත්‍යධුර සම්බන්ධව බහින්බස්වීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

එහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විමසා ඇත්තේ පනින මැති ඇමතිලාට අමාත්‍යධුර මෙන්ම මුදල්ද ලබාදීම හමුවේ අමාත්‍යධුර නොමැතිව වසර තුනක් තිස්සේ සිටින තමන් වැනි උදවියට දැඩි අසාධාරණයක් සිදුවන බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ආණ්ඩුවට සහය දෙන පාර්ශව සඳහා අවස්ථාව ලබාදීමට පොදු එකඟතාවක් ඇති බැවින් ඒ මත ක්‍රියා කල යුතු බවය. එසේම කඩිනමින් මැතිවරණයකට යන බැවින් මෙතෙක් ඒකාබද්ධය සමඟ කටයුතු කළ කිසිවෙකුවත් කළබල නොවිය යුතු බවද ඔහු පවසා ඇත.

මීට විරෝධය දක්වමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසා ඇත්තේ "එන උන්ට සල්ලියි ඇමතිකම් දුන්නට පස්සේ අපිට හුප්පේ ද? " කියාය.

No comments:

Ad
Powered by Blogger.