Ad

මහින්ද අස්වීමට සුදානමක් නැහැ : ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ස්වාධීනවීමට යයි.


මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වන්නේ නම් ලබන බදාදා සිට පාර්ලිමේන්තුවේ ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තම කණ්ඩායම තීරණය කර ඇතැයි සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී දැනුම් දී ඇත.

ඒ, ඔහු ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (23) රාත්‍රී ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය. ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබාදී ඇති සියලු මූල්‍ය පහසුකම් අත්හිටුවීමට එක්සත් ජාතික පෙරමුණ විසින් කතානායකවරයාට බාරදී ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා (28) සිදු කිරීමට නියමිත අතර එම අවස්ථාවේදී ද යලි මහින්ද රාජපක්ෂ මහතාට බහුතර බලයක් නොමැති බව තහවුරු වුවහොත් බහුතර බලය හිමි කණ්ඩායමට අගමැති ධුරය ලබාදෙන ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ලබන බදාදා වන විට මහින්ද රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි පෙන්වන ලෙස තමා බැසිල් රාජපක්ෂ මහතාට හා එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවත් බදාදා වනවිට එසේ බහුතර බලයක් පෙන්වීමට අසමත්වන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම සුදුසු බව තමා එම පිරිසට පැහැදිලිව පවසා ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසට පවසා ඇත.

මහින්ද අස්වීමට සුදානමක් නැහැ !

කෙසේවුවද මේ සම්බන්ධයෙන් 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු ගෙන් කල විමසීමේදී කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක් නැති බවයි. '' පුලුවන්නම් ඉවත් කරන්න'' ඔහු ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේය.

'' මහින්ද මහත්තයා අගමැතිකමක් ඉල්ලුවේ නැහැ, බහුතර බලයක් අරන් දෙනවා කියල රට බේරගන්න ඉදිරිපත් වෙන්න කියල මහින්ද මහත්තයට ආණ්ඩුවක් හදන්න ආරාධනා කලේ ජනාධිපතිතුමා. ඉතින් මෛත්‍රී මහත්තයට බහුතරයක් හදාගන්න බැරිනම් එක එතුමාගේ ප්‍රශ්නයක්. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.