දිනේශ් : මහළු මඬමක් හදන්න හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නවතයි.


බස්නාහිර පළාත් සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නවතා දැමීමට තමන් තීරණය කර ඇති බව දිනේශ් ගුණවර්ධන මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමිනි.

"මහනගර හා බස්නාහිර පළාත් අමාත්‍යවරයා හැටියට චම්පික කරදර කරපු, ගම්වල ඉඩම් කෑලි කෑලි ගන්න හදපු දේ මම අවලංගු කරන්න තීරණය කරලා තියෙනවා හෝමාගම ආසනයේ. පුංචි මිනිස්සුන්ට කරදර කරන චම්පිකලගේ දේශපාලනේ අපේ නෑ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

බලහත්කාරයෙන් ඉඩම් පවරා ගන්නේ නැහැ

එසේම මෙම තාක්ෂණ නගර ව්‍යාපෘතිය සඳහා කිසිදු ඉඩමක් බලහත්කාරයෙන් පවරා නොගන්නා බව ද හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කර තිබිණි. මෙම ව්‍යාපෘතියට අදාළව යටිතල පහසුමකම් දියුණු කිරීම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 300ක අයෝජනයක් කොරියානු රජය විසින් සිදු කිරීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කරන ලදී.

තාක්ෂණ නගරය වෙනුවට මහළු මඬමක්

කෙසේ නමුත් මේ පිළිබඳව Info Sri Lanka News සමඟ අදහස් දැක්වූ 'තිරසර සංවර්ධනයක් සඳහා වූ ජාතික එකමුතුවේ' ප්‍රකාශකයෙක් පැවසුවේ ඉන්දියාවේ සිග්‍ර සංවර්ධනයට තොරතුරු තාක්ෂණය හේතු වූ බවත්, මෙවැනි ව්‍යාපෘති නවතා දැමීම තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පමණක් නොව රැකියා වෙළඳපලට දරුණු බලපෑමක් කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වන ආර්ථිකය මගින් ඉදිරි දශකවලදී උපයාගැනීමට අපේක්ෂිත ඇමරිකන් ඩොලර් මිලියන සියගණනක ආදායම මෙම තීරණය හේතුවෙන් අවධානමට ලක්විය හැකි බවත් ඔහු පැවසීය.

එසේම දේශපාලනයෙන් විශ්‍රාම යන වයසේ පසුවන දිනේශ් ගුණවර්ධන වැනි අයෙක් ගෙන් මහළු මඬම් විනා තාක්ෂණික නගර බලපොරොත්තු විය නොහැකි බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

මොකද්ද මේ තාක්ෂණික නරය?

තාක්ෂණ නගර ව්‍යාපෘතිය යනු කොරියානු රජයේ උපදේශකත්වය යටතේ  හෝමාගම, මාහේන්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අධ්‍යාපනික සහ පර්යේෂණ කටයුතු කේන්ද්‍ර කරගත් දැවැන්ත ව්‍යාපෘතියකි. 


මාහේන්වත්තේ අක්කර 200ක භූමිභාගයක් තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය, මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා නවෝත්පාදන පීඨය, NSBM ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය, රජයේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩාව වැනි ප්‍රධාන ආයතන ගණනාවක් පිහිටුවා විද්‍යා හා තාක්ෂණ දැනුම අවශ්‍ය වන විවිධ සේවාවන් සැපයීම සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ එහි පිහිටුවා රටට අවශ්‍ය වන මානව සම්පත ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අපේක්ෂිත අරමුණු වේ.


No comments:

Ad
Powered by Blogger.