Ad

හිල්වලින් රිංගන්නේ හොරුන්ය.


මොන පුරසාරම් කීවත්, කොයිතරම් සල්ලි විසි කෙරුවත් තමන්ට 113 හදා ගැනීමට නොහැකි බව දැන් මහින්දටත්, මෛත්රීටත් පැහැදිලිය. ඒ අනුව දැන් ඔවුන් කළ යුත්තේ, තම පරාජය පිළිගෙන, මේ රට ඔක්තෝබර් 26 වෙනිදාට පෙර තිබූ තත්ත්වයට යළි පත්කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදය තුළදී ජය හා පරාජය යන දෙකම පිළිගැනීමට තරම් ශික්ෂිතද, පරිණතද විය යුතුය. එසේ නැතිව එකක් කඩතොළු වසා ගන්නට තව තවත් ජිල්මාට් කරන්නට ගියහොත් එයින් සිදුවන්නේ රට තවත් අවුලෙන් අවුලට යාමත්, ව්‍යවස්ථානුකූලවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහජනයා තුළ ඉතිරි වී ඇති අවම හෝ පිළිගැනීම සහ විශ්වාසය බිඳවැටීම පමණකි. 

දැන් මහින්දලා සහ මෛත්රීලා මහමැතිවරණයකට යමු යැයි තම ගෝලබාලයන් ලවා මුට්ටිය දමා බලන්නේ, තමන් ගැසූ දේශපාලන ගේම අතේ පත්තු වීම නිසා මිස, හදිසියේ සත්ගුණවත් ප්‍රජාතන්ත්‍රවාදීන් වූ නිසා නොවන බව තේරුම් ගැනීමට අමුතු නුවනක් අවශ්‍ය නැත. 

මහමැතිවරණයක් කැඳවීමෙහි කිසිදු වරදක් නොමැත. නමුත් එය ව්‍යවස්ථාවට අනුකූල විය යුතුමය. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මේ මොහොතේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවිය නොහැකිය. එසේ වූ ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවට ඇතුලත් කෙරුනේ, මහින්දලාගේ සහ මෛත්රීලාගේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. ඔවුන් එම වගන්තියට චන්දය දෙත්දී තමන් මේ කරන දෙයින්, පාර්ලිමේන්තුව විසිරවීම සඳහා ජනාධිපතිට තිබූ බලය අහෝසි වන බව හොඳාකාරවම දැන සිටියහ. ඒ අනුව තමන් එසේ හොඳාකාරවම දැන සිටි සහ එසේ දැන සිටිමින් තමන් විසින්ම හඳුන්වා දුන් ප්‍රතිපාදනයක් දැන් එසේ නොවේ යැයි කියන්නට ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය සහ හර්දසාක්ෂිය අවමයෙන්වත් පිළිගන්නා කෙනෙකුට පුළුවන් කමක් නැත. 

මුට්ටි කාරයන් පාන එක එක විගඩම්වලින් පෙනෙන්නේ, ව්‍යවස්ථාවේ හිලක් කෙසේ හෝ සොයාගෙන, පාර්ලිමේන්තුව විසුරුවීමට උත්සාහයක් පවතින බවයි. හිල්වලින් රිංගන්නේ වැදගත් මිනිසුන් නොව හොරුන් සහ වංචනිකයන්ය. ජනෙල්වලින් සහ වහලයෙන්ද නිවසකට ඇතුල්විය හැකි වුවත්, මහත්වරු ගෙදරකට එන්නේ ඉස්සරහ දොරෙන්, නිසි විදියටයි. මෙය ව්‍යවස්තාවටත් අදාලය. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන භාවිත කළ යුත්තේ, එය සම්පාදනය කරන මොහොතේ ප්‍රකාශිත අභිලාෂයන්ට හානියක් නොවන ලෙසටයි. එසේම එම ව්‍යවස්ථාවේ සාරයට ගැලපෙන ලෙසටයි. 

විශේෂයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සහ එහි අභිමතාර්ථයන්ට අනුකූල වන ලෙසටයි. ඒ අනුව මහමැතිවරණයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් එය කර ගන්න. එහි වරදක් නැත. එය කරන්නට බැරි නම්, තිබුණු ආණ්ඩුව යළිත් පිළිගන්න. ඒ යථාර්ථය පිළිගැනීමට බැරිනම්, ලැජ්ජානම් ජනාධිපතිතුමාට කරන්නට ඇති හොඳම දෙය තනතුරෙන් ඉල්ලා අස්වීමයි.'

[ජේෂ්ඨ කථිකාචාර්‍ය : අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය]

No comments:

Powered by Blogger.