Ad

ලංකාව Moody’s ශ්‍රේණිගත කිරීම්වලින් පහතට : මූල්‍ය අරමුදලේ ආධාර අත්හිටුවයි.


ලෝක ප්‍රකට ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩිස් (Moody’s) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පැවති මට්ටමට සාපේක්ෂව සහත මට්ටමකට නම් කර තිබේ.

මෙතෙක් පැවති බී වන් අගයේ සිට අද ඔවුන් එය බී ටූ අගය දක්වා පහත දමා ඇති බව මූඩිස් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මෑත කාලීන දේශපාලන අස්ථාවරයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ විදෙස් සංචිත පිලිබඳ සලකා බලා මෙම පහළ දැමීම සිදුකර ඇති බව එම ආයතනය සඳහන් කරයි.

මේ අතර ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටින්නේ මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෑතකාලයේ එල්ල වූ දරුණුතම බලපෑම බවයි.

මූල්‍ය අරමුදලේ ආධාර අත්හිටුවයි

මේ අතර, ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම 2016 වසරේ ජූනි මාසයේ දී අනුමත වූ අතර ඩොලර් බිලියන 1.5 ක ණය ආධාර ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවේ.

මෙම ණය මුදල ලබා දීමේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කළේය.

ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ ආදිය ඒ අතුරින් ප්‍රමුඛ ඒවා වේ.

කෙසේවුවද, ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම මේ වන විට අත්හිටුවා ඇති අතර මිල සූත්‍රයට පරිභාහිරව නව රජය යටතේ දෙවරක් ඉන්ධන මිල පහත හෙළුවේය.

ඉන්ධන මිල පහත හෙලීම දේශපාලන වාසි ලබා ගැනීමට කළ කටයුත්තක් බව ආර්ථික ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

No comments:

Powered by Blogger.