ග්‍රාමශක්ති : නව මුහුණුවරකින්.


ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සාහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියෙකු බිහි කිරිම අරමුණු කර ගනිමින් එම වැඩපිළිවෙළ වඩා පුළුල් සහ කාර්යක්ෂම කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ.

ජනවාරි 23 වනදා සිට 30 වනදා දක්වා වන සතිය ග්‍රාමශක්ති සතිය ලෙස ප්‍රකාශයට පත්කරන අතර එම සතිය තුළ මෙම වැඩසටහන සමග ජනතා පෙළගැස්ම සහ ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ඔහු සදහන් කළේ දෙසැම්බර් 20 බ්‍රහස්පතින්දා පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වෝත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම විශේෂත්වයක් වන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට ඉතා දිළිඳු ජනතාව ජීවත්වන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා ජනතාව යන අංශ තුන අතර සම්බන්ධීකරණ හා සහයෝගීතාව ඇති කරමින් මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සංවිධාන ගත වූ ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ.

එහි ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති සමිති හා සමාගම් සංඛ්‍යාව 1020 ඉක්මවයි.

ඉන් 700 ක් දිළිඳු බව පදනම් කර ගනිමින් තෝරා ගෙන ඇති අතර, අද ඒවා ක්‍රියාත්මක වනුයේ ප්‍රජාපාලිත ගම්මාන ලෙසිනි.

තවත් ගම්මාන 300 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වේ.

මේ වන විට මෙම ග්‍රාමශක්ති සමිති සහ සමාගම් සඳහා මුදාහැර ඇති මුදල රුපියල් ලක්ෂ 10,000 කට අධික බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

ලබන වසර වන විට ග්‍රාමශක්ති සමිති හා සමාගම් 4000 ක් දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව වේ.

No comments:

Ad
Powered by Blogger.