2020 අපේක්ෂක සිහිනය බොඳවෙන ලකුණු : සිරිසේන ගෞරවනීය විශ්‍රාම ගැනීමකට සුදානමින්.


තමන් වෙත 2015 වසරේදී ලැබුන ජනවරමට අනුව වසර 5ක සම්පුර්ණ කාලයම ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ඔහුගේ පවුලේ ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

නිවාඩුවක් සඳහා පවුලේ සාමාජිකයින් සමග තායිලන්තයට ගොස් සිටින ජනාධිපතිවරයා, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් සමග පැවති කතාබහකදී ඒ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශකර ඇති බවත් ඔහු වත්මන් දේශපාලනය ගැන බලවත්සේ කනස්සල්ලෙන් සිටින බවත් එම ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහලදමමින් ඔහුට ගෞරවනීය විශ්‍රාම ගැනීමකට අවශ්‍ය මතවාදයක් දියත්කිරීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයෙක් ජනාධිපතිවරයාගේ වත්මන් න්‍යයාචාර්යාවරයකුට දැනුම් දී ඇත.

ජනාධිපති සිරිසේනට තම පාර්ශවයද එක්කර ගනිමින් පොදු අපේක්ෂකත්වය ලැබීමේ ආශාවක් තිබුණත් ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක මැතිවරණයකදී ආවට ගියාට තීන්දු ගත නොහැකි බවත් පසුගිය වසර තුනකට අධික කාලයක් තිස්සේ පක්ෂය බිම් මට්ටමේ ස්ථාවර කරගැනීම වෙනුවෙන් දරදිය ඇදී සාමාජික අදහස පවා එහිදී වැදගත් වන බවද එම ආරංචිමාර්ග පැවසීය.


එසේම මේ වන විටත් ජනාධිපතිගේ පාර්ශවය සමඟ ගොඩනගාගෙන තිබෙන දේශපාලන සම්බන්ධය කෙරෙහිද බහුතර පාක්ෂිකයන්ගේ කැමැත්තක් නැති බවත් එහෙයින් පක්ෂයේ අනාගතය තීරණය වන එවැනි තීන්දුවක් ගැනීමට කිහිපවරක් සිතන්නට සිදුව ඇති බවද එම පක්ෂ අභ්‍යන්තරයේ ස්ථාවරය වී තිබේ.

ශිරාල් එක්ක සාකච්ඡා නෑ : තීන්දුව ගන්නේ මහින්ද - බැසිල්

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය දැනටමත් අවධාරණය කර ඇති අතර 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයා කව්දැයි තීරණය කරන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බව 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

එසේම 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සිරිසේන ජනාධිපතිට ලබාදීම සම්බන්ධව ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බව බැසිල් රාජපක්ෂද අවධාරණය කර ඇත.

වෙබ් මාධ්‍ය හරහා පළවූ පුවතක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන්කර තිබු අතර සාකච්ඡා කරන්නට නම් ඒ සඳහා ජනාධිපතිට තමන් ඇමතිය හැකි බවත් ඒ හැර අතර මැදියන් අනවශ්‍ය බවත් එහිදී ඔහු සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රීලනිපයෙන් යෝජනාවක් :

මේ අතර ලබන වසරේ පවත්වන ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට අදාළ යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂයට ගෙන ඒමට ශ්‍රි.ල.නි.ප. මන්ත්‍රිවරුන් පිරිසක් තීරණය කර ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවට අනුව, ලබන වසරේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී.ල.නි.ප., එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ඇතිකර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24දා) පෙරවරුවේ පැවති පක්ෂ විධායක රැස්වීමේදී ලබන වසරේ මැතිවරණ ඉලක්ක කොටගෙන පුළුල් සන්ධානයක් ගොඩනඟන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

ශ්‍රී ල.නි.ප. මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24දා) කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊළඟ ජනාධිපති අපේක්ෂකයාත් මෛත්‍රිපාල සිරිසේන මහතාමදැයි මාධ්‍යවේදියකු විමසූ විට මහ ලේකම්වරයා කියා සිටියේ පක්ෂය දිනවිය හැකි අපේක්ෂකයා නියම වේලාවට ඉදිරිපත් කරන බවය.

ලබන ජනවාරි 08 වැනිදා ජනපති සිවුවැනි පදවිප්‍රාප්තිය දා ඊළඟ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කිරීමට සූදානමක් තිබේදැයි එහිදී කළ තවත් විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් එවැන්නක් සිදු නොවුණද ඊළඟ වසර මැතිවරණ වසරක් නිසා ඊට පක්ෂය අවශ්‍ය සැලසුම් සකසන බවයි.

No comments:

Ad
Powered by Blogger.