සිරිසේනට එරෙහිව : ශ්‍රීලනිපයෙන් නඩුවක්.


ශ්‍රීලනිපයේ සාමාජිකත්වය දරමින් සිටියදී වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට ශ්‍රීලනිප නායකයා ද වන සිරිසේන ජනාධිපති පියවර නොගතහොත් ඊට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මෙසේ නඩු මාර්ගයට යාමට සූදානම් වන්නේ ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඩිලංග වීරකෝන් ය.

නඩු දැමීමට පෙර එම සංවිධානය විසින් කතානායකතුමා වෙතද ලිපියක් යොමු කිරීමට එම පාර්ශවය කටයුතු කර ඇති අතර වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂනායක කරන ලෙසද එයින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය
40/4, කිරුල පෙදෙස
කොළඹ පාර
බොරලැස්ගමුව

ගරු කතානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර

ගරු කතානායකතුමනි,

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධවයි

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට අදහස් කරන බව පසුගියදා ඔබතුමන් විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස ඒ පිලිබඳව අපගේ දැඩි විරෝධය පළකරන අතර, පහත දක්වන කරුණු ඔබතුමන්ගේ කාරුණික අවධානයට යොමු කරවමු.

ද්‍රෝහීන් හෙළිකරණ විසි දෙකේ දෙක

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අයෙකි. එහෙත් පසුගිය නොවැම්බර් 10 වෙනි දින ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) නම් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය පමණක් නොව නායකත්වයද ලබා ගෙන ඇත. ඒ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ ඔහු විසින්ම සහ ඉහත කී පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් විසින් ද ප්‍රකාශ කර තිබේ. ඒ පිලිබඳ විද්‍යූත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා ඔබතුමන්ට අවශ්‍ය වන්නේ නම් ඒවා ලබා දීමට ද අපට හැකියාව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ ‘සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම්’ පිළිබඳව සඳහන් වන 22 වන වගන්තියේ (ii) වන උප වගන්තියෙහි “ වෙනත් දේශපාලන පක්ෂයකට බැඳී සිටින සාමාජිකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත නොහැකිය” යනුවෙන් ඉතාමත් පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉහත කී දිනයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය නිරායාසයෙන්ම අහෝසි වී තිබේ. එපමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔහුගේ නියෝජිකත්වයද අවසන් වේ.

රටම දන්නා දෙයක් ගැන කතානායකට අමුතුවෙන් දැනුම් දීමට අවශ්‍යතාවයක් නැත

කිසියම් තනතුරක් දරන්නෙකු එකී තනතුර සඳහා වන සුදුසුකමක් අහිමි කර ගැනීම එකී තනතුරද අහිමි කර ගැනීමකි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා තරඟ කිරීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි අතර කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රටේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් එම අවස්ථාවේ සිට ඔහුගේ පාර්ලිමේන්තු අසුන හිස් වෙයි. එමෙන්ම මුළු රටම දන්නා එවැනි කාරණයක් පිලිබඳව ඔහු අයත් දේශපාලන පක්ෂය විසින් ඒ පිලිබඳව විශේෂයෙන් කතානායක තුමාට දැන්වීමේ අවශ්‍යතාවයක් ද නැත.

ඒ අනුව මුළු රටටම ප්‍රසිද්ධ කර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත හැර පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්ව ලබා ගැනීමෙන් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අවසන් වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගරු කතානායක තුමාර දැන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇති නොවේ. එහෙයින්ම ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිලිබඳව තීරණය ගැනීමේ අයිතිය ඔබතුමන් සතු බව අපගේ විශ්වාසය යි.

ශ්‍රීලනිප සාමාජිකත්ව අහිමි වීමට වෙනකකට ඉල්ලුම් කළත් ඇති

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට මෙතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබා දී නොමැති බවත් ඔහු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එහි සාමාජිකත්වය ඉල්ලා අයැදුම් පත් ඉදිරිපත් කිරීමක් පමණක් සිදුකර ඇති බවත් එම පක්ෂයේ නිලධාරීන් මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් සිටිති. එහෙත් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයැදුම් කිරීම යනු තමන් එතෙක් සාමාජිකත්වය ලබා සිටින දේශපාලන පක්ෂයෙන් චේතනාන්විතව ඉවත් වීමක් බව අපගේ පිලිගැනීමයි. ඒ අනුවද මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අවසන් වීමට එකී අයැදුම් කිරීම පමණක් වුවද ප්‍රමාණවත් වෙයි.

ඉහත කරුණු අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි (පොහොට්ටු පක්ෂයේ) සාමාජිකත්වය ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසි වී ඇති බව තීරණය කොට ඔවුනට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට ඉඩ නොදීම ඔබතුමන්ගේ වගකීමක්, රාජකාරියක් බව අපි පෙන්වා දෙමු. එසේ ඔබ තුමන්ගේ තීරණයට ඔවුනතුරින් කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ පිලිබඳව ඔබතුමන්ට එරෙහිව අධිකරණයට යාමට ද හැකියාවක් තිබෙන්නේ නම් ඔබතුමාගේ තීරණය සාධාරණීකරණය කිරීමට අපද ඉදිරිපත් වන බව වැඩිදුරටත් ප්‍රකාශ කරමු.

කුමාර වෙල්ගමට විපක්ෂ නායකධූරය දෙන්න

ගරු කතානායකතුමනි,

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් සහ රීතීන් පිලිබඳ අපට වැඩිපුර දැනීමක් නොමැත. පාර්ලිමේන්තුවේ විපක්ෂයෙහි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවන පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමි වන්නේ නම් දැනට එසේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛතම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ඒ සඳහා පත් කිරීමට කටයුතු කරන මෙන්ද අපි ඔබතුමාගෙන් ඉල්ලමු. ඒ අනුව කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකළ, විපක්ෂයේ ඇති අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද ඉතා සුහදව, ඍජුව කටයුතු කරන්නෙකු ලෙස පිළිගැනීමක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහත්මා ඒ සඳහා පත් කරන මෙන් අපි වැඩිදුරටත් ඔබතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා..! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා..!!

ස්තූතියි

මෙයට විශ්වාසී,

ඩිලංග වීරකෝන්
කැඳවුම්කරු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

No comments:

Ad
Powered by Blogger.