Ad

ශ්‍රී ලංකාවත් සෝමාලියාවක් වීමේ අවදානමක් : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක.


රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය උත්සුක නොවන බැවින් එය තව තවත් වර්ධනය වෙමින් රට කෙන්යාව, සෝමාලියාව වැනි තත්වයට පත්වීමේ අවදානමක් ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පැවසීය.

පවතින අර්බුදයට කෙටිකාලීනව දිය හැකි හොඳම විසඳුම මහමැතිවරණයක් කැඳවීම බවත් පෙන්වා දුන් දිසානායක මහතා එසේ නොමැති නම් ඒ සඳහා සුදුසුම යෝජනාව ඉදිරිපත් කරන ලෙසට මහමැතිවරණයකට යාම ප්‍රතික්ෂේප කරන පිරිස් වලින් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ප්‍රජාතාන්ත්‍රීක එකමුතුව කොළඹ මහවැලි කේන්ද්‍රයේ ඊයේ (05) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා මෙසේ ද කීවේය.

විසදුම මොකක්ද ?

‘‘රටේ මතුවී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය ක්‍රමානුකූලව විසදෙන පැත්තකට යොමුවෙනවා වෙනුවට ඉතාමත්ම ගැඹුරු පැත්තකට ගමන් කරමින් තිබෙනවා. මෙම ව්‍යාකූලත්වය තව තවත් වර්ධනය වුණොත් එහි ප්‍රතිඵලය කෙන්යාව, සිම්බාබ්වේ, සෝමාලියාව වගේ රටක් බවට අපේ රට පත්විය හැකියි.

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන සියලූ ආයතන මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන බවක් අපිට පේන්න නැහැ. අර්බුදය ව්‍යාප්ත කිරීම සහ ගැඹුරු කිරීම සඳහා මේ ආයතනවල තීරණ බලපානවා නම් ඒ හැමදේටම වඩා මෙම අර්බුදය විසඳාගැනීම සඳහා අවධානය යොමුකරන්න කියලා අපි මෙම ආයතන තුනටම කියනවා.

මෙම ව්‍යාකූලත්වයෙන් ගැලවීම සදහා මහමැතිවරණයකට යන්න ඕන කියන කාරණාව අපි දිගින් දිගටම මතු කළා. නමුත් මහමැතිවරණයකට යන්න ඕන කියන කාරණාව විවිධ පාර්ශව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

බොහෝ දුරට ඒ සදහා බලපාලා තියෙන්නේ තම තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතියි. ප්‍රජාතාන්ත්‍රීක එකමුතුව විදියට අපි මේ කිසිම පාර්ශවයක් සමග ගැටුමක් හෝ කිසිම පාර්ශවයක පැත්තක් ගැනීමට අපි සූදානම් නැහැ.

මහමැතිවරණයකට යාම නොවේනම් මේකට තියෙන විසදුම මොකක්ද ඔබ යෝජනා කරන විසදුම කියලා එම පාර්ශව වලින් අපි විමසනවා. ඒ විසදුමට අපි උදව් කරන්න කැමතියි. ''

(ලංකාදීප)

No comments:

Powered by Blogger.