ඉදිරි වසර 10 තුළ මහානගර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ට්‍රිලියන 05 ක්!


ඉදිරිවසර 10 තුළ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ට්‍රිලියන 05 ක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ 2019 වර්ෂයේ රාජකාරී ආරම්භ කරමින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව අමාත්‍යාංශය ඇතුළු යටත් ආයතනයන් හි නිලධාරීන් හා සේවක සේවිකාවන් අමතාය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2019 වර්ෂය මේ රටේ අනාගතයේ කිසියම් ආකාරයකට හැරවුම් ලක්‍ෂයක් නිර්මාණය කරන වසරක් හැටියට දේශපාලන වශයෙන් පෙනී යනවා. ඒ වගේම මේ වර්ෂයේ දැනට තිබෙන පුරෝකතනයන් අනුව ලෝකයේ ආර්ථිකය තරමක් දුරට මන්දගාමී වෙන වසරක්. දැනටමත් අපේ ලෝක ආර්ථික වර්ධන වේගය අඩුවෙන්න නියමිත වසරක් හැටියටයි මේ වසර නම් වෙලා තිබෙන්නේ. එය හැම රටකටම වාගේ අපේ රටටත් බලපානවා. ඒ වගේම අපේ රටේ ඉතිහාසයේ වැඩිම ණය මුදල ගෙවන්න මේ වසරේදී සිදුවෙලා තිබෙනවා. ඒ ණය මුදලේ විශේෂත්වයත් එයින් වැඩිම මුදල ගෙවන්න වෙලා තිබෙන්නේ විදේශ ණය. ඒ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,600 ක් මේ වසරේ ගෙවන්න නියමිතයි. එය අතිවිශාල ධනස්කන්ධයක්. ඒ නිසා අපේ රටටත්, ලෝකයටත් ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න තිබෙන අවස්ථාවක බව ප්‍රකාශකළ යුතුයි.

ඒ වගේම අපේ අමාත්‍යාංශය 2015 සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන විට අපේ අමාත්‍යාංශය හිස් කඩදාසියක තිබුණේ. අප සතුව තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය පවා ජල සම්පාදන අමාත්‍යාංශයට අනුයුක්ත කරන්න නියමිතව තිබුණා. එම නිසා එම අමාත්‍යාංශයේ නමත් නගර සැලසුම් සහ ජලසම්පාදන ලෙස යොදා තිබුණා. අපි බලාපොරොත්තු උනා බස්නාහිර මහනගර අධිකාරියක් පිහිටුවන්න. මහනගර අධිකාරියේ සැලසුම ඒ වන විටත් සකස් කර තිබුණා. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න. 2016 වසරේ මැද භාගය වනතුරු අප උත්සාහ කළා මේ මහනගර අධිකාරිය පිහිටුවා ගන්න. නමුත් පලාත් සභා ආදියේ ඇති වූ විරෝධතා නිසා එය පිහිටුවා ගන්න අපට බැරි උනා. ඒ නිසා මහනගර සැලැස්මේ තිබූ අපේ සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කරවීමට තිබූ නීත්‍යානුකූල බලය අපට අහිමි උනා. අපි එයින් අධෛර්යය උනේ නැහැ. විශේෂ ව්‍යාපෘති අංශ ගණනාවක් ඇතුල් කරගෙන හිස් බිමක තිබූ අපේ අමාත්‍යාංශය කෙතක් බවට පත් කළා.

උදාහරණයක් හැටියට අපේ අමාත්‍යාංශය මගින් කරගෙන යන වරාය නගර ව්‍යාපෘතිය නතර කරන්න කියලා වාර්තාවක් 2015 නව රජයෙන් ලබාදුන්නා. එහිදී ජනාධිතුමන් සමග අපි චීනයට ගිය වෙලාවේ වරාය නගර ව්‍යාපෘතිය නතර කිරීම ගැන විශාල දේශපාලන ගැටලුවක් පැන නැංගා. ඒ අවස්ථාවෙදි තමයි වරාය නගර ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශය යටතට ගෙන නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර දියත් කළේ. ඒ වරාය අධිකාරිය යටතේ කරගෙන ගිය ව්‍යාපෘතිය මහජන විරෝධතා නිසා කිසිම විදිහකට කරන්න බැහැ කියලා විශ්වාස කළා. පරිසරවේදීන්ගේ විරෝධතා නිසා කිසිම ආකාරයකට කරන්න බැහැ කියා සිතුවා. රටේ ගල් වැලි ටික ඉවරයි කියලා මතයක් තිබුණා. අද ඒ ව්‍යාපෘතිය ජීවමාන වෙලා තිබෙනවා. එය අප පිට පටවපු ව්‍යාපෘතියක්. එහි තිබූ සෑම කොන්දේසියක්ම අපි වෙනස් කළා. ජාතික ආරක්‍ෂාව පිළිබඳව නොයෙක් විදේශ රටවල් මේ බිම්කඩ ගැන අපෙන් ප්‍රශ්න කළා. මේ කිසිම රටක් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ස්වෛරී භාවය එමගින් කඩවනවාය, මෙය සින්නක්කරව විදේශිකයන්ට ලබාදෙනවාය කියන සියලුම මතවාද අද නැහැ. අද ශ්‍රී ලංකා රජයට එය අයත් වෙලා තිබෙනවා. මේ රටේ හුඟ දෙනෙක් දූෂණය ගැන කතා කරනවා. රටේ අද සිදුවන විශාලතම පෞද්ගලික ආයෝජනය කිසිම දූෂණයක් පිළිබඳ හඬක් එහි ඇසී නැහැ. ඒ පිළිබඳ අපේ ලේකම්තුමා, ව්‍යාපෘති අධ්‍යක්‍ෂකතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට අපේ ස්තූතිය පිරිනමනවා.

මේ රටේ අද වරාය නගරයෙන් පසුව පෞද්ගලික ක්‍ෂෙත්‍රයේ සිදුවන විශාලතම ආයෝජනය දුම්රිය සේවයේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති කිව්වහම සමහරු හිතනවා කණු ටිකක් ගහල රේල් පාරක් දාලා මේක අවුරුද්දෙන් දෙකෙන්  මැජික් බලයෙන් වගේ කරන්න පුළුවන් කියලා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් සිදු කරන්න ඉතාම අමාරුයි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අදහස ඇති කර ගත්තේ 1830 දී. යතාර්ථයක් වූනේ 1860 දී.  ඒ වගේම අපි ඉංජිනේරුවෝ හැටියට විදුලි දුම්රිය පද්ධතියක් ගේන්න කොපමණ කාලයක් උත්සාහ කළාද කියලා කවුරුත් දන්නවා. මේ රටේ පළවෙනි ජල විදුලි බලාගාරය හදපු විමල සුරේන්ද්‍ර මහතා 1931 දී මෙරට විදුලි දුම්රිය යෝජනා කළේ අවිස්සාවේල්ලේ සිට කැළණි තිස්සට. අදටත් අපට බැරි උනා අපට වඩා නොදියුණු රටවල් ගණනාවක් විදුලි දුම්රිය දුවද්දි එය ක්‍රියාත්මක කර ගන්න අපට බැරි උනා. අපි වසර 20 ක් සැලසුම් කළා පොල්ගහවෙල සිට පානදුරට විදුලි දුම්රිය ඇති කරන්න. එය පොතපතේ තිබුණා මිස කෙරුනේ නැහැ. අපි සතුටු වෙනවා  වසර 2 ක් ඇතුළත එයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, සිවිල් ඉංජිනේරුමය, යාන්ත්‍රික ඉංජිනේරුමය,  විදුලි ඉංජිනේරුමය ක්‍රියාවලියක් වූ මේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ක්‍රියාවලිය අපට පුළුවන් උනා මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න. ඒ ව්‍යාපෘතික අධ්‍යක්‍ෂකවරුන් ඇතුලු සියළු දෙනාටම අපේ ස්තූතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඇත්තටම පසුගියදා සිදුවූ දේශපාලන අර්බුදය, කුමන්ත්‍රණය සිදු නොවුනා නම් ජපන් ආධාරය ලැබිලා අපට එය ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ඒ ආයෝජනයෙන් ඉතිරි ව්‍යාපෘති කිරීමටත් අපි යෝජනා කර තිබෙනවා. මේවා මේ අපේ අමාත්‍යාංශයෙ කලින් තිබූ ඒවා නෙමෙයි, අපි වවාගත්ත දේවල්.

ඊ ළඟට මේ රටේ කසළ කලමණාකරණය පිළිබඳව මහා අර්බුදයක් මීතොටමුල්ල සිද්ධියත් සමග ඇතිවුණා.  පළාත් සභාව, පළාත් පාලන අමාත්‍යාංශය, වගේම අදාල නගර සභා සියල්ලම  අසාර්ථක උනා. අපි ස්තූතිවන්ත වෙනවා අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එයට මැදිහත් වෙලා කසළ එකතු කරන හැටි කියා දීම සහ කසළ විදිමත්ව අපහරණය කරන හැටි කියා දීම පිළිබඳව. ඒ වගේම විද්‍යාත්මක විසඳුමක් ලබාදීම සඳහා අපි කැප වුණා. අපට විරුද්ධව පෙළපාලි යනවා, උපවාස කරනවා ඒවා ගැටලු නෙමෙයි. මේ රටේ මා දන්න තරමින් 1996 සිට කරන්න බැරි වූ දේ මේ මහපොළවේ අපි දැන් ඉෂ්ට කර තිබෙනවා. ඒ ගැන අපි සතුටු විය යුතුයි, ආඩම්බර විය යුතුයි. එයත් අප පිට පැටවූ ව්‍යාපෘතියක්.

ඊ ළඟට අපි තාක්ෂණ නගරයක් ඇතිකිරීමට කටයුතු කළා. සමහරු මෙය නවත්වනවා කිව්වා. මෙය තමයි මේ පාර උසස්පෙළ ප්‍රතිඵළ දැක්ක නම් පේනවා ඇති මේ රටේ සිසු දරු දැරිවියන්ගේ ප්‍රවණතාවය තිබෙන්නේ තාක්ෂණය දෙසට. අපි ඉතාම සතුටු විය යුතුයි මේ සැරේ ඉංජිනේරු අංශයෙන් පළවෙනි තැනට පත්වන්නේ දැරිවියක්. මා දන්න තරමින් ගණිත අංශයේ පළවෙනි තැනට කාන්තා පාර්ශවය පත්වෙලා නැහැ. මේ සැරේ අපේ දැරිවියක් පත්වෙලා තිබෙනවා එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉංජිනේරුවෝ. ඒ වගේම තාක්ෂණ විෂය දහරාවට විශාල පෙළඹවීමක් ඇති වී තිබෙනවා. තාක්ෂණ විෂය ධාරාවන් සිදු කළ ළමයින්ගෙන් 2/3 ක් විභාගය පාස්. ඒ නිසා මේ රටේ අනාගතය එතැන. ඒකයි අපි තාක්ෂණ නගරය ස්ථාපිත කළේ.  ඒ තාක්ෂණ නගරය තමයි මේ රටේ අනාගතය ඉදිරියට ගෙන යන තැන. ඒ සඳහා අවශ්‍ය කරන මුල් වට පිටාව අපි සම්පූර්ණයෙන්ම වගේ සකස් කර තිබෙනවා.

පරිපාලන නගරය පිළිබඳව කතා කරනවා නම් ඒ ගැන නාගරික සංවර්ධන අධිකාරියටත්, අදාල අයටත් ස්තූතිවන්ත විය යුතුයි. මොකද අපේ අරමුදල් වලින් අපි එය දියත් කර තිබෙනවා. සෙත්සිරිපාය පළවෙනි පියවර, දෙවන පියවර ආදී ඔය හැම එකක්ම ආණ්ඩුවේ සල්ලි. ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම ලොකු දෙයක් නෙමෙයි. නමුත් තමන් හම්බකර ආයතනයකට කරන්න පුළුවන්නම් එය තමයි ලොකුම වැඬේ. ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනවා නම් ඕන ඉදිකිරීමක් ඕන විශ්වකර්මයෙකුට හදන්න පුළුවන්. නමුත් අපේ අරමුදල්වලින් ඒක කරන්න අපි ඉදිරිපත් වෙලා ඒක අද ස්ථාවරව අපට පුළුවන් වෙලා තිබෙනවා පාරට දාන්න.

ඒ වගේම අපට තවත් අතිවිශාල ව්‍යාපෘතියක් අපේ උරමත කඩා වැටුනා. රුපියල් බිලියන 250 කට වැඩි බලගතු ව්‍යාපෘතියක් වන පැල්පත්වාසීන්ට නිවාස ලබාදෙන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය.  එය හරිනම් මේ ආණ්ඩුව, භාණ්ඩාගාරය සිදු කළ යුතු දෙයක්.  නමුත් කණගාටුවෙන් උවත් කිව යුතුයි. 2016 වසරේදී භාණ්ඩාගාරය කර ඇරියා. අපට සිදු වුණා ඒ අනුව එයට උරදෙන්න. අපි උරදීලා එය ඉදිරියට ගෙනගියා. අවසානයේ භාණ්ඩාගාරයත් එය ප්‍රතිපත්තියක් හැටියට පිළිඅරන් තිබෙනවා. ඉදිරිකාලයේදී අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිකාලයේදී ආසියානු බැංකුවෙන් ආධාර උපකාර ලබාගෙන තිරසර ව්‍යාපෘතියක් බවට පත් කරන්න. අද හේනමුල්ලට ගියහම, මාලිගාවත්තට, කොලොන්නාවට ගියහම අපට පෙනෙනවා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ පැල්පත්වාසී ජනතාවගේ ජීවිත කොච්චර බලවත් විදිහට මේ රටේ වෙනස් වෙලා තිබෙනවා ද කියලා. මේ රටේ ඉතිහාසයේ රජයක් ඍජුව හා වක්‍රව මැදිහත්වෙලා සිදු කරන විශාලතම නිවාස ව්‍යාපෘතිය එම නිවාස ව්‍යාපෘතිය. රුපියල් බිලියන 250 කින් නව නිවාස 50,000ක් ඇති කරන්න. ඒ වගේම අපි මධ්‍යම පන්තිය සඳහාත් නිවාස 5,000 ක් ඉදිකරන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් උරදී කටයුතු කලා. 

ඒ වගේම මේ රටේ හොඳට වියදම් කරන අමාත්‍යාංශ හුඟක් ජනප්‍රියයි.  නමුත් අපි ආඩම්බරයෙන් කියනවා අපේ ආයතන දෙකම, නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවත් ලාභ ලබන ආයතන බවට අපි පත් කළා. ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තත්වයට අපි පත් කළා. ඒ වගේම ප්‍රකෝටි ගණන් ධනය ආයෝජනය කරන තත්වයට අපි පත් කළා. 2015 දී බිලියන 39 ක ණය බරක තිබූ නාගරික සංවර්ධන අධිකාරිය 2018 වන විට බිලියන 23 ක් ආයෝජනය කරන්න පුළුවන් ආයතනයක් බවට අපි පත් කළා 78 සිට ගත්තහම මුළු නාගරික සංවර්ධන ඉතිහාසයේම ඒ වගේ කිහිප ගුණයක් ආයෝජනය කරන්න මේ කෙටි කාලයේදී නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබුණා. ඒ නිසා මේ අමාත්‍යාංශය පිටින් බලලා බැහැ මේ අමාත්‍යාංශ්‍ය අනුන්ගේ වැඩත් කරගහගෙන කළ එකක්.

ඊ ළඟ වසර 10 තුළ මෙම අමාත්‍යාංශය උරදී තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම ට්‍රිලියන 5ක් වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය පමණයි අපට වඩා වාර්ෂිකව එවැනි ක්‍රියාවලියක් සිදු කරන්නේ. ආර්ථිකයට කරන බලපෑම පැත්තෙන් ගත්තහම විශාලතම ව්‍යාපෘති රැසක් අපි සාර්ථකව ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ වගේම අපි මේ වසරේදී බලාපොරොත්තු වෙනවා කුඩා ව්‍යාපෘති පිළිබඳව වැඩිපුර අවධානය යොමුකර අපේ ජනතාවගේ සුළු පාරිමාණ නාගරික අවශ්‍යතා දෙසට වැඩි අවධානයක් යොමුකර ක්‍රියා කරන්න. ඒ සඳහා ඔබේ ශක්තිය, ඔබේ කැපවීම, ඔබේ ධෛර්යය අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ දේශපාලන කවර දේශපාලන හැල හැප්පීමත් තිබුණත්, මේ ජනතාව වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් වූ මේ සංවර්ධනය ඉදිරියට යා යුතු වෙනවා. අපට ලැබුණු හිස් ඉඩමක, මුඩු ඉඩමක සරුසාර වගාවක් දැන් රෝපණය කර තිබෙනවා. ඒක අනාගතය කරා රැගෙන යාමේ වගකීම සේවක ඔබ හැමට තිබෙනවා. ඔබ සියළු දෙනාම ඒ මත පදනම්ව අනාගතයේ අපේ දරුවන්ට ඒ ඵළ නෙලාගන්න පුළුවන් ආකාරයට මේ ඉදිරි දශකයේ  මේ අමාත්‍යාංශය රැගෙන යයි කියන බලාපොරොත්තුවෙන් සියළුම දෙනාටම සුභ නව වසරක් වේවා යැයි ද පැවසීය.             

No comments:

Ad
Powered by Blogger.