සිරිසේන: මත් ජාවාරමුන් 23ක් බේරයි.

මෙරට සමස්ත මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින් ම මෙහෙයවන ප‍්‍රභූ වෙස් ගත් 23 දෙනකු පිළිබඳව සම්පූර්ණ තොරතුරු බුද්ධි අංශ විසින් හෙළි කරගෙන තිබිය දී, පිලිපීනයේ මෙන් එම ජාවාරම මැඬලීමේ මුවාවෙන් විරුද්ධවාදීන් මර්දනය කිරීමට සැරැසෙන්නේ දැයි බලවත් සැකයක් මතු වී තිබේ.

දේශපාලන විචාරකයන් මේ සම්බන්ධ අවධානය යොමු කර ඇත්තේ, පිලිපීනය සමඟ ගිවිසුම් අත්සන් කළ ජනාධිපතිවරයා මෙහි දී ද එම රටේ මෙන් මරණීය දණ්ඩනය පමුණුවා ජාවාරම මර්දනය කරන බව ප‍්‍රකාශ කිරීම නිසා ය. පිලිපීනයේ පුද්ගලයන් 20,000ක් පමණ මත්ද්‍රව්‍ය මැඬලීමේ මුවාවෙන් ඝාතනය කර ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එම තොරතුරු හෙළි කරන අතර. එරට නිල සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇත්තේ, 5,000ක් දෙනා ඝාතනය කරන ලද බවයි.

එරට සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ ගිවිසුම් අත්සන් කළ බව කියන ජනාධිපතිවරයා, ‘ජාතික මත්ද්‍රව්‍ය නිවරණ සතිය’ අරඹමින් පාසල් තුළ විශාල ප‍්‍රචාරයක් ගෙන යාමට ගෙවී යන සතියේ මුලපිරී ය. එම ප‍්‍රචාරක ව්‍යාපෘතිය සඳහා මහජන මුදල් රුපියල් මිලියන සිය ගණනක් වැය කර ඇත. එහෙත්, බුද්ධි අංශ වාර්තා අනුව ජනවාරි 06 වැනි දින ‘ලංකා’ හෙළි කළේ ප‍්‍රධාන ජාවාරමුන් 23 දෙනකු හඳුනාගෙන ඇති බවයි. ඔවුහු ප‍්‍රබල ම දේශපාලකයන්ට හෝ ඉහළ ම නිලධාරීන්ට සම්බන්ධව සිටිති. ඔවුන් අතර අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකර පහළ මට්ටමේ එම ජාවාරම්කරුවන්ට සහ ඇබ්බැහි වූවන්ට විරුද්ධව ක්‍රියා කිරීමට වර්තමාන ආණ්ඩුවේ ජනාධිපති, මෛත්‍රී සූදානම් වන බව ප‍්‍රචාරය අනුව පැහැදිලි වේ.

(ප්‍රියදර්ශන දයාරත්න - ලංකා ඉරිදා සංග්‍රහය)

No comments:

Ad
Powered by Blogger.