​ශ්‍රී ලන්කන් ‌ගොඩ ගන්න හොඳම ක්‍රමය මෙන්න.


ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගතකිරීමට අදාළ යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපති පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී ඉහත ක්‍රමය හැර තවත් ක්‍රම දෙකක් පිළිබඳව කමිටුව නිර්දේශ ලබාදී ඇත.  ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම එම කරුණු දෙකයි. කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය ඒ සඳහා හොඳම ක්‍රමය බව කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා සදහන් කර තිබේ.

ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හඳුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය,මානව සම්පත් ප‍්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප‍්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබඳ සොයා බැලීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළයුතු බවට ද කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව ඊයේ (28දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදුන්නේය.

කමිටු වාර්තාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිතුමා විසින් පත්කරන ලද්දේ පසුගිය ජනවාරි 07 වනදා යි.

No comments:

Ad
Powered by Blogger.