සාමකාමී දේශයක් සහ තිරසාර සංවර්ධනයක් : ජනපති පදවි ප්‍රාප්තියේ සිවු වසර සැමරුම අද.


පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින් සාමකාමී දේශයක් සහ තිරසාර සංවර්ධනයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ සිවු වසර සැමරුම අදට (08) යෙදී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ 06 වැනි විධායක ජනාධිපතිවරයා වේ.

2015 ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද හැට දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

එසේ ජනතා බලවේගයන් සමග එක්ව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් පන්නා දැමු මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 දා රහසිගත මෙහෙයුමක් හරහා තම ප්‍රතිවාදියව අගමැති කරවීම සුවිශේෂී කාරණයක් වේ.

පදවිප්‍රාප්ත වී සිවුවසරක් සම්පූර්ණ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රටට සුබපතා රට පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (7) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනය පැවැති අතර ඊට අමතරව අද (08) උදෑසන දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයකු සතු විධායක බලතල සීමා කරමින් 19වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ අතර එවැන්නක් කළ පළමු රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

No comments:

Ad
Powered by Blogger.