ස්වාධීන රූපවාහිනියට මිලියන 45ක පොල්ලක්!


2015 ජනාධිපතිවරණය අවස්ථාවේ දී වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පැවැති රජය ස්වාධීන රූපවාහිනී ආයතනය වෙත ගෙවිය යුතු රුපියල් මිලියන 45ක මුදල මෙතෙක් ගෙවා නැතැයි සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(8) ප්‍රකාශ කළේය.

පැවැති ආණ්ඩුව ස්වා‍ධීන රූපවාහිනිය වෙත ගෙවිය යුතු මුදල්වලින් සතයක් හෝ නොගෙවා එම ආයතනයේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් කතා කිරීම ගැටලු සහගත බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනි ආ‍යතනය වැනි ආයතනවලට පැවැති ආණ්ඩුව වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් විශාල මුදලක් ගෙවිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී ආයතනය තුළ නිර්මාණය වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 27/2 යටතේ මතුකළ ප්‍රශ්නයකින් පසුවය.

එමෙන්ම අනුර කුමාර දිසා‍නායක මහතා මතුකළ ප්‍රශ්නය සඳහා අද(9) දිනයේ දී විෂය භාර ඇමැතිවරයා විසින් දීර්ඝ පිළිතුරක් ලබා දෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී ආයතනය තුළ මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. ස්වාධීන රූපවාහිනි ආයතනයේ සේවයකයන් විසින් සිදුකළ උද්ඝෝෂණයක් සඳහා කැරලි මර්දන ඒකකය විසින් පහර දීමක් සිදුකර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සඳහා කිසිඳු උපදෙසක් ලබාදී නොමැති බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ දැනුවත් බවකින් තොරව සිදුකර ඇති මෙම පහරදීම සම්බන්ධයෙන් ද වහාම සොයා බැලිය යුතු බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ස්වාධීන රූපවාහිනි ආයතනය සතුව තිබූ රුපියල් මිලියන හත්සිය පනහක ස්ථාවර තැන්පතුවක් ක්‍රම ක්‍රමයෙන් අඩුවීම ඇතුළු සාධාරණ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම සේවකයන් ප්‍රශ්න කරන බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙහිදී ස්වාධීන රූපවාහිනි ආයතනය තුළ නිර්මාණය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නය යොමුකළ අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සේවක නොසන්සුන්තාවට හේතු වී ඇති ආසන්නම හේතුව වන්නේ ආයතනයේ තනතුරු ගණනාවක් සඳහා දේශපාලන පත්වීම් සිදුකිරීම බවයි.

No comments:

Ad
Powered by Blogger.