උදය ගම්මන්පිල සිය මුදල් කොල්ල කෑ බව බ්‍රයන් ෂෙඩික් සාක්ෂි දෙයි.

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් මහතාට අයත් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කළ බවට උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවතින නඩුව අද(11) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

නඩුවේ සාක්ෂි ලබාදෙමින් බ්‍රයන් ෂෙඩික් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය තමන්ට අයත් යකඩ කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ලෙස කටයුතු කළ උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් තමාට අයත් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවත් ඒ බව පෑන් ඒෂියා බැංකුව මගින් තමා දැනගත් බවත්ය.

2000 වසරේ ජුලි මස 27 හෝ ඊට ආසන්න දිනයකදී ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල විය. ඒ අනුව ඕස්ට්‍රේලියානු ජාතිකයාට අයත් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය , ඒ සම්බන්ධව විශ්වාසය කඩ කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා  යටතේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

සාක්ෂි ලබාදීම සඳහා බ්‍රයන් ෂෙඩික් මහතා සහ ඔහුගේ බිරිඳ වන ජේ ෂෙඩික් මහත්මිය දිවයිනට පැමිණ සිටති.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

No comments:

Ad
Powered by Blogger.