Ad

බාධක බිද ජීවිතය ජයගන්නා යාල්පානමේ වාසුකී.


යුද්ධය නැමැති ඒ අදුරු වලාකුළ මැකී ගොස් වසර 10 ක් පමණ ගත වුවද ඒ අදුරු වළාකුලේ අමිහිරි මතකයන් සම්පුර්ණයෙන්ම අමතක කළ නොහැකි හා ඒ මතකයන් තුල ජීවත්වෙමින් කදුළු සමග ගනදෙනු කරන පිරිස් අදටත් නැතුවාම නොවන බවට සාක්ෂි ඇති තරම්ය. පේදුරු තුඩුවේ වාසුකී ගේ කතාව ද ඉන් එක් කතාවකි. නමුත් ඇය සුවිශේෂී වනුයේ කදුළු පිසදා නැගී සිටීමට වෙර දරන දිරිය කාන්තාවක් නිසාමය.

49 හැවිරිදි වාසුකි නඩනචන්ද්‍රන් මහත්මියගේ මුල් පදිංචිය වුයේ මුලතිව් ය. එවකට ඇය ගුරුවරියක් ලෙස සේවය කල අතර ස්වාමියාත්, දියණියත් හා පුතණුවන් සමග ජීවිතය බැදී තිබුනේ එකට බැදුණු පුරුක් ලෙසිනි. නමුත් දිනෙන් දින ඇවිලුණු යුද ගිනි දැල් වලින් වලින් ඇයට ඇගේ පවුල බේරා ගැනීමට නොහැකි විය. 2009 වසර වාසුකි ට තම ජිවිතයේ අදුරුතම වසර වුයේ තමා සතු සියලු දෑ යුද්ධය විසින් උදුරා ගනිමිනි. ක්ෂණයකින් වට වූ ෂෙල් වෙඩි වරුසාව වාසුකිට තම එක් පාදයක් මෙන්ම වාසුකිගේ සහෝදරයාගේ ද නැන්දම්මා ගේ ද අවසන් මොහොත විය. මේ මොහොත වන විට නිවසින් පිටව නගරයට ගොස් සිටි ස්වාමියා සහ දියණිය ට අද වනතුරු සිදු වුයේ කුමක්දැයි දන්නේ දෙවියන් ය . සියලු දේ අහිමි වූ වාසුකිට අවසානයේ ඉතුරු වුයේ තම කුඩා පුතු පමණි. පවිත්‍රන් පුතු සමග යාපනයට පැමිණෙන වාසුකිට ජීවිතය නැවත මුල සිට පටන් ගැනීමට සිදුවනුයේ කිහිලිකරු මතිනි. එතැන් පටන් පාදයද නොමැතිව ජිවත් වීම නමැති යුද්ධය ජයගැනීමට වාසුකි තම බාධක අමතක කොට , ආපන ශාලා වෙත සැකසු ආහාර දැමීමේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. ඇය අද වන විට කිසිවකුට කරදරයක් නොවෙමින් පුතුට ද උසස් අධ්‍යාපනය ලබා දෙමින් ජිවත්වන අපුරුව සමස්ත කාන්තා ප්‍රජාවට ම ආදර්ශයකි.




වාසුකී ඇයගේ වචනයෙන්ම පවසන අන්දමට " අපිට කෑම ඕඩර හැමදාම එක වගේ ලැබෙන්නේ නෑ, නමුත් අපි කොහොමහරි ලැබෙන දේ පිරිමහගෙන ජිවත් වෙනවා, ඉන්දියානු නිවාස ව්‍යාපෘතියකින් අපිට මෑතකදී නිවසක් ලැබුණා . මෙහෙම හරි මටයි පුතාටයි ඉන්න නිවසක් ලැබුණු එක ලොකු සැනසීමක්. මේ ප්‍රදේශයේ යුද්ධය නිසා පීඩාවට පත්වුණු, අබාධිත තත්වයට පත්වුණ . දෙමාපියන් අහිමිවුණ දරුවන් , ඒ වගේම ස්වාමි පුරුෂයන් අහිමිවුණ කාන්තාවන් ඉන්න පවුල් බොහොමයක් තියෙනවා. අපිට යුද්ධය කියන වචනය ඇහුනත් පුදුම බයක් අදටත් දැනෙන්නේ. යුද්ධය නිසා ජිවිතේ අපට ගොඩක් දේවල් නැති වුණා, එත් අපේ ඒ අහිමිවීම් ගැන හිත හිතා දුකින්ම ජිවත් වනවාට වඩා ඉතුරුවෙලා ඉන්න අයත් එක්ක ජිවිතයේ ඉතිරි කාලය ඉදිරියට ගෙනියන්න උත්සාහ ගන්නවා. සිංහල දෙමළ කියලා වෙනසක් නැතිව අපි හැමෝම සහෝදරයෝ වගේ ජිවත් වෙන්න ඕන, අපිට සිංහල ජනතාවගෙත් ආදරය අවශ්‍යයි. එහෙමආදරයක් තිබුනොත් තමා අපිටත් අපේ ජිවන මට්ටම ඉහලට ගෙනයමින් හැමෝම එක්ක සතුටින් ජිවත් වෙන්න පුළුවන් වන්නේ. එහෙම නොවුනතින් අපිට හැමදාම කරදරවලින් තමා ජිවත්වන්න වෙන්නේ. අපි දෙගොල්ලෝ එකට එකතුවෙලා උදව් කරගෙන ජීවත් වුණොත් අපි හැමෝටම සමගියෙන් ඉන්න පුළුවන්. ඒ වගේම ඉදිරි පරම්පරාව එකිනෙකා සහයෝගයෙන්, සමගියෙන්, සංස්කෘතික සහජීවනයෙන් ජීවත්වීමයි අපේ බලාපොරොත්තුව ,එහෙම නොවී අසමගි වෙලා නැවතත් යුද්ධයක් ආවොත් , මේ වගේ අහිමි ව්ම ඇති වුනොත් එයට මුහුණදීමට, දරාගැනීමට හැකියාවක් තවත් අපට නෑ, ඒ නිසා අපට ආයෙත් කිසිම දවසක යුද්ධයක් එපා එපා එපා ..


වාසුකී ඒ වචන කිහිපය හදවතින්ම කතා කලේ කදුළු තදකරන් වුනත් ඒ මතකය සිහි කරද්දී ඇයටම ඇගේ කදුළු පාලනය කරගන්න ට බැරි විය. එලෙසින් සැගවුණු වාසුකිලා අප අතර තවත් අනන්තව සිටිනු ඇත. මනසින් උසස් හෙයින් මිනිසා ලෙස සැලකෙන අප මානව වර්ගයා එකම මිනිස් කුලකයක  ජාතියක්, දේශයක් , පාටක් කියා පිල් බෙදී යුධ වැදී දිනා ගන්නේ මොනවාද යැයි ප්‍රශ්නයක් සිතට එක කරමින් ඇයට සමුදුනිමි.

- ආසිරි  උපේන්ද්‍ර ඩයස්.

No comments:

Powered by Blogger.