Ad

විමල් ජවිපෙට ගෙවන කෝටියේ වන්දිය මහජනතාවට.


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමට සිදුව ඇති රුපියල් කෝටියක වන්දි මුදල සම්පූර්ණයෙන්ම මහජන හිත සුව පිණිස පොදු කාර්යයන් සඳහා යොදවනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

විමල්ට මේ වන්දිය ගෙවීමට සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛන භාවිත කරමින් ඔහු විසින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වී ඇති බව කොළඹ මහාධිකරණය තීන්දු කිරීම හේතුවෙනි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය විසින් පසුගිය සිකුරාදා විමල් වීරවංශ මහතාට නියෝග කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පවා කිසිදු ආකාරයක වැටුප් හෝ දීමනා ලබා නොගන්නා බව පැවසූ ටිල්වින් සිල්වා මහතා පක්ෂයේ බුද්ධිමය දේපළට වූ හානිය උදෙසා මෙම නඩුව පැවරූ බවත් පැවසීය.

වගඋත්තරකාර විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ 'නැත්ත වෙනුවට ඇත්ත' යන ග්‍රන්ථයේ අඩංගුව ඇත්තේ තමා විසින් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය හමුවට තමා ඉදිරිපත් කළ අදහස්‌ හා යෝජනා බවත් ඒවා තමාගේ කිසිදු අවසරයකින් තොරව එකී ග්‍රන්ථයට ඇතුළත් කිරීමෙන් තමාගේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් පෙන්වා දෙමින් ටිල්වින් සිල්වා මහතා විසින්a 2008 වසරේදී එම නඩුව පවරා තිබිණි.

අධිකරණය විසින් අදාළ කෘතිය ප්‍රකාශයට පත්කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද පනවන ලදී.

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද එකී සිද්ධිය සම්බන්ධයෙන්ම විමල් වීරවංශ මහතාට එරෙහිව වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

කෙසේවුවද, සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව විමල් වීරවංශ මහතා සමඟ ඇති කර ගත් එකඟතාවක්‌ මත පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීම නිසා එම නඩුවේ චෝදනාවලින් වගඋත්තරකාර විමල් වීරවංශ මහතාව නිදහස්‌ කිරීමට වාණිජ මහාධිකරණය නියෝග කොට තිබිණි.

No comments:

Powered by Blogger.