පරිපාලන නගරය, පාඨලී මහ නගරයක් කරන්න යයි.

පරිපාලන නගරය එක මහා නගරයක් විය යුතු බවට තමන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට යෝජනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා  මෙම අදහස් පළ කර සිටියේ, බත්තරමුල්ල පරිපාලන නගර මධ්‍යයේ බහු මාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. 

මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 ‘මේ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා ඩුබායි සහ අබුඩාබි නගරවල සිට මෙහි පැමිණි Essar පුද්ගලික ආයතනයේ ආයෝජකයින් ඔවුන්ගේම ආයෝජන මගින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද මෙම ඉඩමේ අනාගතයේ මේ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවනවා. එදා මෙතන කඩුවෙල නගර සභාවේ කැලි කසළ ගෙනවිත් දමන මධ්‍යස්ථානයක්ව තිබුණා. ඒ වගේම අනවසර පදිංචිකරුවන් විශාල ප‍්‍රමාණයක් රැඳී සිටින ස්ථානයක්ව තිබුණා. ඒ සියල්ලම වෙනස් කර මේ ස්ථානය දියුණුවේ ජය භූමියක් බවට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අද කටයුතු කර තිබෙනවා. මෙයට පිටුපසින් මහා මාර්ගයක් දිව යනවා කොස්වත්තේ සිට කඩුවෙල දක්වා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ බත්තරමුල්ල මංසන්දියේ සිට නව මාර්ගයක් මෙයට වම්පසින් ඉදිකරන්න. ඒ වගේම අනාගතයේ කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන ඒ සැහැල්ලූ දුම්රිය සේවයත් මේ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කරනවා ඇති. මෙයට සමාන්තරව දැනට කොළඹ නගරය තුළ ස්ථාපිත කර තිබෙන රාජ්‍ය ආයතන 113 ක් මේ පරිපාලන නගර ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිලි 4 ක් ඉදිකිරීම් කටයුතු දැන් නාගරික සංවර්ධන අධිකාරිය ඉදි කරගෙන යනවා.

අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරන්න කැමතියි. එදා මේ සෙත්සිරිපායවල් ගොඩනැගුවේ රජයේ අරමුදල්වලින්. අද නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල්වලින් රජයට බරක් නොවී සහ පුද්ගලික අංශයේ සහයෝගයෙන් පෞද්ගලික සහ රජයේ ආයෝජනයක් ලෙස රට ණය නොකර ඒ කටයුත්ත සිදු කරන බව අපි ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මේ කලාපය අද සීග‍්‍රයෙන් දියුණුවන කලාපයක්. අවාසනාවකට මෙහි පරිපාලන ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි මේ පාර්ලිමේන්තුව, රජයේ කාර්යාලවලට අයිති මේ ප‍්‍රදේශය සහ නාගරික ජනාවාස ප‍්‍රදේශ, එක් පැත්තකින් මහරගම නගර සභාවට, අනෙක් පැත්තෙන් කඩුවෙල නගර සභාවට, කෝට්ටේ ජයවර්ධනපුර මහනගර සභාවට, කොටිකාවත්ත මුල්ලේරියාව  ප‍්‍රාදේශීය සභාවට ඔය වගේ ආයතන ගණනාවකට අයිතියි. ඒ නිසා අපි අනාගතයේ කල්පනා කර තිබෙනවා අනාගතයේදී මේ නගරාධිපතිතුමාලා නගර සභාවල මේකට බලවත් අකමැත්තක් තිබුණත් මේ පරිපාලන නගරය වෙනම ඒකකයක් හැටියට, වෙනම නගර සභා බල ප‍්‍රදේශයක් හැටියට ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කර අලූතින් පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති නව නිර්ණායකයන් අනුව මහා නගරයක් ලෙස මේ පරිපාලන නගරය අනාගතයේ ගොඩනගන්න.

 ඒ මගින්  ශ‍්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ප‍්‍රදේශය රටේ පරිපාලන අගනගරය කිරීම සඳහා දරණ ලද උත්සාහය අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුදු 5 දී පරිසමාප්තියක් වෙලා එය මේ රටට ප‍්‍රතිපළදායක අගනගරයක් බවට පරිවර්තනය වේවි කියා. ඒ සඳහා විශේෂයෙන්ම අප ගැන විශ්වාසය තැබූ පෞද්ගලික අංශයට අපේ ස්තූතිය පිරිනමනවා යැයි පැවසීය.

No comments:

Ad
Powered by Blogger.