Ad

රනිල්ගෙන්, රටේ හැම දෙනාටම නිවාසයක, ඉඩමක, බැංකු ගිණුමක සහ ව්‍යාපාරයක අයිතිය.

රටේ  හැම දෙනාටම නිවාසයක අයිතිය, ඉඩමක අයිතිය, බැංකු ගිණුමක අයිතිය, කොටස්, කුඩා ව්‍යාපාරයක  අයිතිය, මේ අන්දමේ සෑම අංශයකටම අයිතිය ලබාදීම තම ආණ්ඩුවේ මතය බවත්  ලක්ෂ 10ට ඉඩම් අයිතිය ලබාදීමේ එම වැඩසටහන එහි එක් පියවරක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කුරුණෑගල, නිකවැරටිය, පොලිස් ක්‍රීඩාංගනයේදී පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්ය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සිදුකල සම්පුර්ණ කතාව පහත දැක්වේ. 

අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වලට ඔප්පු ලබාදීමේ උත්සවය පවත්වනවා.  මෙය වැදගත් උත්සවයක්. මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා දැඩි උනන්දුවෙන් ගයන්ත කරුණාතිලක ඇමතිතුමා කටයුතු කළා. මෙතුමා ඉඩම් අමාත්‍යාංශය ලබා ගත් දින සිට ඉඩම් නොමැති ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. ඒක වැදගත් කාරණයක්. එතුමා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මෙහෙයවන අතරතුර  ඉඩම් අමාත්‍යාංශය නවීකරණය කිරීමටත්, ඉඩම් ඔප්පු සකස් කිරීමටත් , ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමටත්, අලූත් තාක්ෂණය යෙදවීමටත්, මැනීම් වැඩකටයුතු සඳහාත් විශාල උනන්දුවකින් කටයුතු කරනු ලබනවා. එම නිසා එතුමාට මම පළමුවෙන්ම මේ පිළිබඳව ස්තුති වන්ත වෙනවා. එතුමාට මෙම කාර්යයට අමතරව තවත් විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා.

අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විශාල ලෙස පියවර ගෙන තිබෙනවා. අද පාසල්වලට පහසුකම් ලබා දී තිබෙනවා. අද විදුහල්පතිවරු පත් කරන්නේ යම්කිසි පිළිගත් පදනමකට අනුවයි. ඒ සඳහා නොසුදුසු අය පත් කරන්නේ නැහැ. පාසල්වලට පහසුකම් සපයන අතරම ගුරුවරුන්, කී්‍රඩා පුහුණු ගුරුවරුන් බඳවාගෙන පුහුණු කරවිමට බලාපොරොත්තු වෙනවා. එතුමා ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් සිදුකර ගෙන යන අතරම එතුමාත් නලින් බණ්ඩාර ඇමතිතුමාත් කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා කටයුතු කරමින් සිටිනවා. බිංගිරිය වෙළඳ කලාපය විවෘත කිරිමෙන් පසු ඒ  ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් දකින්නට හැකියාව ලැබෙනවා. අපේ උරුමය ආරක්ෂා කරන්නට අපි ජයවික්‍රම පෙරේරා ඇමතිතුමාට භාරදී තිබෙනවා. ආගමට හා දහමට නැඹුරු වී මේ ටැම්පිට  විහාරය වැනි අපේ ආගමත්, දහමත් ආරක්ෂා වී ඇති ස්ථානයන් ආරක්ෂා කරන්නට එතුමාට අවස්ථාව සැලසී තිබෙනවා.

මේ ඉඩම් ලබාදීම ඉතා වැදගත් කාරණයක් සේ සැලකිය හැකියි. මේ ඉඩම්ලාභීන් නිසා මේ රටේ ආර්ථිකය දියුණු වුණා. 1931 දී ඩී. එස් සේනානායක මැතිතුමා ජනපද යෝජනා ක්‍රමය ඇති කරන්නට පැරණි වැව්, වාරිමාර්ග  අලූත්වැඩියා කරන්නට, ගල්ඔය වැනි ව්‍යාපාර ආරම්භ කරන්නට පටන් ගත්තා. ඒ හා සමගම එතුමා ඉඩම් බෙදා දෙන්නටද කටයුතු කළා. විවිධ ආණ්ඩු යටතේ මේවා ක්‍රියාත්මක වුණා. ලංකාව වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965 දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත්තා. එතුමා එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක කළා. 1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. සිංහල රජ සමයේ සිට  නොවෙයි විජය රජතුමාගේ කාලයේ සිට වැඩිම වැව් සෑදුවේ එතුමාගේ කාලයේයි. අපි ඉඟිනිමිටිය, ලූණුගම්වෙහෙර වැනි වාරි ව්‍යාපෘති අලූතින් ආරම්භ කළා. රටේ වගා කරන ඉඩම් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඒ වගේම 2003 මම අග්‍රාමාත්‍ය පදවිය දරණ කාලයේ වසර 500කට පමණ පසු පළමු වතාවට මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. ඒ කටයුතු කලේ මේ ගොවි මහත්වරුන්. දැන් ඒ කෘෂිකර්මාන්තය නවීකරණය කරන්නට ඉදිරි අයවැයෙන් ආධාර සහනාධාර ලබා දෙනවා.

ඒ එක්කම මේ අයට අපි අපේ යුතුකම ඉටු කළ යුතුයි. බොහෝ දෙනෙකුට ආණ්ඩුවෙන් මුදල් ඉඩම් ලබාදුන්නත්, ඔවුන්ට ඔප්පුවක් ලැබෙන්නේ නැහැ. කඩදාසියක් පමණයි ලැබෙන්නේ. මේ නිසා සමහර විට මෙයට අදාල නිලධාරියා තීරණයක් ගත්තොත් ඉඩම අහිමි කරන්නත් පුළුවන්. එම නිසා අපේ රට සහලින් ස්වයංපෝෂිත කළ මේ ගොවීන්ට අපි අපගේ යුතුකම ඉටු කළ යුතුයි.

ඔවුන්ට ඔවුන්ගේ  ඉඩම සඳහා වන ඔප්පුව ලබාදිය යුතුයි. ඒ විතරක් නොවෙයි ඩී. එස්. සේනානායක මැතිතුමා දකුණේ කුඩා තේ වතු ආරම්භ කළා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඒ කුඩා තේ වතු වල සංඛ්‍යාව තවත් වැඩි කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපේ රටින්  අපනයනය කරන තේ වලින් 60% සපයන්නේ කුඩා තේ වතු වලිනුයි. මේ සඳහා ආණ්ඩුවෙන් ඉඩම් ලබා දුන්නත් ඒ අයටත් අයිතිය පිළිබද කඩදාසි කෑල්ලක්වත් නැහැ. ඒ අනුව රට සහලින්  ස්වයංපෝෂණය කළ ගොවීන්ටත් තේ අපනයනය වැඩි කර දුන් තේ ගොවින්ටත්  අපි අයිතිය පිළිබද කිසිදු ලියවිල්ලක් ලබා දී නැහැ. ඒ අනුව එම අයිතිය ලබාදීමට අපේ යුතුකමක් තිබෙනවා.

ඒවගේම වඩාත් තරඟකාරීව කටයුතු කරන කුඩා රබර් වගාකරුවන්ටත් අපි සැලකිය යුතුයි. රටේ ආර්ථිකය දියුණු කරන්නට වෙහෙස මහන්සි වී කටයුතු කළ  මේ සියළු දෙනාටම අපි  මෙතෙක් කල් සලකලා නැහැ. ඉඩම් ලබාදුන්නා පමණයි. අපි මංමාවත් හැදුවා. 1978 සිට විදුලිබල යෝජනා ක්‍රම මගින් විදුලි බලය ලබාදීමට කටයුතු කළා. එම නිසා දැන්  කළ යුත්තේ  ඉඩම් අයිතිය ලබාදීමයි.

මේ රටේ නිවාස ප්‍රශ්නය විසදන්නට ප්‍රේමදාස ජනාධිපතිතුමා ගම්උදාව වැඩසටහන මගින් කටයුතු කළා. කුඩා ඉඩම් කොටසක් ලබාදීමෙන් පසු ඒ අය තමාගේ ශ්‍රමයෙන් නිවාසය සාදා ගත්තා. තමන්ගේ මුදල් යොදා ගත්තා නම් තමාගේ ශ්‍රමය ඒ සඳහා යෙදවූවා නම ඒවායේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතුයි. ඒ අයිතිය නැහැ. එම නිසා අර කඩදාසි කැබැල්ල වෙනුවට ඔප්පුවක් ලබාදීමයි අප විසින් කළ යුත්තේ. එය අප ලබාදෙනවා. ඒ කටයුතු කරන අතරේ ඊළඟ පියවර මේ සියලූ අයිතිවාසිකම් සින්නක්කරවම ලබාදීමයි. ඒ aආරම්භ කිරිමට අපි අවශ්‍ය දිරිගැන්වීම් ලබාදෙනවා. අපි ඉඩම් දෙනවා. හෝටල් ක්ෂේත්‍රය සඳහා ඒ අයුරින් කටයුතු කරනවා. රටේ ආර්ථිකය ඉහල නැංවීමට මූලිකව  කටයුතු කළ අයට අපි ඒ අයිතිය ලබාදිය යුතු වෙනවා. එමගින් මේ රටේ තවත් ලක්ෂ 10 – 15 කට තම අයිතිය ලැබෙනවා.

මේ රජයේ  අපේ  දේශපාලන මතවාදය එයයි.  හැම දෙනාටම නිවාසයක අයිතිය, ඉඩමක අයිතිය, බැංකු ගිණුමක අයිතිය, කොටස්, කුඩා ව්‍යාපාරික අයිතිය මේ අන්දමේ සෑම අංශයකටම අයිතිය ලබාදීමයි. ලක්ෂ 10ට ඉඩම් අයිතිය ලබාදීමේ එම වැඩසටහන එහි එක් පියවරක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්.

අපි  අධ්‍යාපන අයිතියත්, අමතක කරලා නැහැ. දැන් දරුවන් රක්ෂණය කරනවා. ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙල ක්‍රියාත්මක කොට තිබෙනවා. අපි සෞඛ්‍ය අයිතිය ලබාදී තිබෙනවා. හෘද රෝගීන්ට ස්ටේනට්, අක්‍ෂි රෝගීන්ට කාච නොමිලේ ලබාදෙනවා. බෙහෙත් ද්‍රව්‍ය වල මිල අඩු කර තිබෙනවා. අලූත් රෝහල් ඉදිකරනවා. පානීය ජලය ලබාදෙනවා. 1978 සිට විදුලි බලය ලබාදීම සිදු කොට තිබෙනවා. විදුලිය ඉල්ලූම අද තවත් ඉහල ගොස් තිබෙනවා. හැම නිවසකටම පාහේ රූපවාහිනියක්, දුරකථනයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළේ වැඩ වසම් සමාජ ක්‍රමයක් නොවෙයි. වැඩවසම් යුගයේ නින්දගම් තිබුණා. විහාර ගම් තිබුණා. ගබඩා ගම් තිබුණා. ඉඩම් තිබුණේ නැහැ. අඳ අයිතියයි තිබුණේ. එදා අඳ ගොවියාට අද ඉඩම් අයිතිය තිබෙනවා. බැංකු ගිණුම් තිබෙනවා.  අපි ඒ විප්ලවය සිදු කළා. එදා එවැනි තත්වයක් තිබුණේ නැහැ.

අපේ මූලික ප්‍රතිපත්ති තුනෙන් එකක් නම් ප්‍රජාතන්ත්‍රවාදයයි. අනෙක් කරුණ තරඟකාරි ආර්ථිකයයි. තුන්වැන්න සමාජ සාධාරණයයි. මා ඉහතින් කතා කළේ සමාජ සාධාරණය පිළිබඳවයි. ප්‍රජාතන්ත්‍රවාදය අපි ලබාදී තිබෙනවා. අපේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය දැන් ශක්තිමත්. අධිකරණය ශක්තිමත්. ඒ වගේම 1977 දී අපි තරඟකාරී ආර්ථිකයක් ආරම්භ කළා. නමුත් 2015 දී ණය බරින් මිරිකෙන ආර්ථිකයක් ලබාගන්නට අපිට සිදු වුණා. තවමත් ඒ ණය ගෙවමින් සිටිනවා. වැඩිම විදේශ ණය වාරිකයන් ගෙවන්නේ මේ වසරේදියි. ඩොලර් මිලියන 5600ක් ගෙවනවා. මෙහෙම තත්වයක් තිබෙද්දී ස්ථාවරභාවයක් ඇති කළා. ආර්ථික දියුණුවත් ඇති කළා. දැන් ඒවායේ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. දැන් මේ ප්‍රදේශය දෙස බැලූවොත් අධිවේගි මාර්ගය ඉදිවෙමින් පවතිනවා. බිංගිරිය වෙළෙද කලාපය ආරම්භ වෙනවා. කුරුණෑගල විශාල නගරයක් බවට පත්වෙනවා. දැන් කුලියාපිටිය හඳුනාගන්නත් බැහැ. එදා තිබුණේ කුඩා වෙළඳ සැල් කිහිපයක් පමණයි. අද විශාල දියුණුවක් දක්නට තිබෙනවා. ඇත්ත වශයෙන්ම කටුගම්පොල, දඹදෙණිය  අද ගම්පහින් කොටසක් වගෙයි. කිසිම වෙනසක් නැහැ.

සංවර්ධනයේ  වාසිය සුළු පිරිසකට පමණක් නොව සියළු දෙනාටම හිමිවිය යුතුයි. අධ්‍යාපන, ඉඩම්, දේපල සෞඛ්‍ය, පානීය ජලය, විදුලි බලය දුරකථන නිවාස මේ සියලූ අයිතීන් ලැබෙන අතරේ ප්‍රධානතම  අයිතියක් වන්නේ මෙතෙක් කල් තමන් හට නොතිබුණු ඉඩම් අයිතිය හිමි වීමයි. මේ කිසිදු අයිතීන් ලබා දෙන අතරේ ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සමාජයක තරඟකාරී ආර්ථිකයක් ඇතිකිරිමේ කාර්යභාරය අප විසින් ඉටු කරගෙන යමින් සිටිනවා. විශාල කටවුට් මගින්, රුපවාහිනී ප්‍රචාර තුලින් මාධ්‍ය හරහා තමන් ප්‍රතිරූපය ගොඩ  නංවමින් රටක ආර්ථිකය ගොඩ නගන්නට බැහැ. බැනුම් ඇසිය යුතුයි. ඉවසීම තිබිය යුතුයි. බිමි මට්ටමට පැමිණ වැඩ කළයුතුයි. බලාපොරොත්තු වන සාර්ථක ඉලක්කය කරා ළගා විය හැක්කේ එසේ කටයුතු කිරීමෙන් බව ප්‍රකාශ කරමින් මම මගේ කතාව මෙයින් අවසන් කරනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.