මෛත්‍රී 'ජනපති අපේක්‍ෂක' කරන යෝජනාව සම්මතයි : පොහොට්ටුව වෙන අදහසක?


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවක්‌ ඊයේ (01 දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ආසන බල මණ්‌ඩල රැස්‌වීමේදී ඒකමතිකව සම්මත විය.

එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැදවච්චිය ආසන සංවිධායක තිස්‌ස කරල්ලියද්ද මහතා විසින් ස්‌ථිර කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්‌වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර අනතුරුව එය අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ බල මණ්‌ඩල නියෝජිතයන් හා දිස්‌ත්‍රික්‌ සංවිධාන නියෝජිතයන් සියලු දෙනා විසින් අනුමත කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්‌වීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

පොහොට්ටුව මෛත්‍රී හළයි

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ අතර නව සන්ධානයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් වාර්තාවක් සකස් කරමින් සිටින නමුත්, එම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ ඇතුළත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පැවසුහ.

ඉහත කී කමිටුවේ සභාපති ඩලස් අලහප්පෙරුම පැවසුවේ නව සන්ධානයෙහි ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිත්වය ලේකම් ධුරය හා භාණ්ඩාගාරික ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙහි නියෝජිතයන්ට ලබාදීමට එකග වී ඇති බවයි. නව සන්ධානයෙහි විධායක කමිටුවෙන් 51% නියෝජිත ප්‍රමාණයෙන්ද පොදුජන පෙරමුණට ලබාදීමට එකග වී ඇතැයි ඔහු කීය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව හා ප්‍රතිපත්ති පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ ප්‍රතිපත්ති අතරින් සියලුම දෙනා එකග විය හැකි ප්‍රතිපත්ති පිළිබදව මේ වනවිට සලකා බලමින් සිටින බවද ඔහු කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ ජනවාරි 29 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකවරුන්ගේ රැස්වීමේදී එම කමිටුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කළ බවයි. එම සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ කිහිපය ඇතුළත්වන බව ඔහු කීහ.

ආරුමුගම් තොණ්ඩමාන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය හා ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඩී.පී පක්ෂයද මෙම සන්ධානයට ඇතුළත් වනු ඇතැයි කීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තවත් සති එකහමාරක පමණ කාලයක් ඇතුළත එම කමිටුවේ කටයුතු අවසාන කරනු ඇති බවත්, ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ සන්ධානය එළිදැක්විය හැකි බවත්ය.

ශ්‍රීලනිපය සමග සාකච්ජා පසුවට :

එම සන්ධානය බිහිකිරීමෙන් පසුව ශ්‍රීලනීපය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද අලහප්පෙරුම මහතා කීය.

මෙම කමිටුව 2018 ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමග එකතු වීමට පෙර ඇති කර ගත් එකක් බවත්, ඉහත කී යෝජනා සියල්ල ඉදිරිපත් කෙරුණේ ඔක්තොබර් 26 වැනිදාට පෙර බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

ශ්‍රීලනීපය ද ඉහත කී සන්ධානයටම පාර්ශ්වකරුවකු ලෙස එකතු කර ගන්නවාද, ශ්‍රීලනීපය සමග වෙනම ගිවිසුමක් ඇති කර ගන්නවාද යන්න ඉදිරියේදී සාකච්ඡා කළයුතු යැයි ඔහු කීය.


(අනිද්දා)

No comments:

Ad
Powered by Blogger.