රජය ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂික ආරක්ෂාව නොසලකා හැරලා.


2009 න් පසු පත් වූ කිසිදු රජයක් ජාතික ආරක්ෂාව හැර ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂික ආරක්ෂාව (Humam Security) සම්බන්ධව අවධානය යොමු කර නැති බවත් ඒ සඳහා මධ්‍යම රජය, පළාත් සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සමස්ත රාජ්‍ය පද්ධතියම එක් වී කටයුතු කළ යුතු බවත් නවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා 'රාවය' පුවත්පතට පවසා ඇත.

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධි අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එබව සඳහන් කර ඇති අබේගුණවර්ධන මහතා, නීති විරෝධි අවි ආයුධ භාවිතය වැලැක්වීමට නම් 2005 වර්ෂයදී ඇති කළ නීති විරෝධී සුළු අවි පිළිබඳ කොමිසම නැවත බලාත්මක කළ යුතු බව ද කියා සිටියි.

2014 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බලාත්මක කළ යුධ අවි වෙළඳාම පිළිබඳ සම්මුතියට තවමත් ශ්‍රී ලංකාව සම්බන්ධ වී නැති අතර එසේ වූවා නම් නීත්‍යානුකූල නොවන අවි භාවිතය අවම කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍යම ශක්තිය ලබාගත හැකිව තිබුණත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධව උනන්දුවක් නොදක්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම දැනට ශ්‍රී ලංකාව තුළ බලපවත්වන අවුරුදු 22ක් තිස්සේ යාවත්කාලීන නොකළ ගිනි අවි ආඥා පනතේ දඩ මුදල් අය කරන ප්‍රමාණය හා සිරගත කරන කාල සීමාවන් ආදිය වර්තමාන කාලයට අනුව වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව විද්‍යා අබේගුණවර්ධන මහතා තවදුරටත් පෙන්වා දී ඇත. 

මේ අතර 2019 වසරේ ජනවාරි 01 වන දින සිට පොලිස්පතිවරයාගේ නියෝගය අනුව නීති විරෝධී අවි අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රෛමාසික වැඩසටහනක් දැනට දිවයින පුරා පොලිසිවල ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

No comments:

Ad
Powered by Blogger.