2019 දී සිරිසේනගේ අළුත් ආණ්ඩුව ද? : එජාපෙ ජාතික ආණ්ඩුව ද?

මහින්ද රාජපක්ෂ රජය විසින් ලබා ගත් ණය කන්දරාවද ගෙවමින් ජනතාවට උපරීම සහන දීම සඳහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියලූ පක්ෂවලට ළඟදීම පිහිටුවන සමගි සන්ධාන ජාතික ආණ්ඩුවට එක්විය හැකි බව පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණුු සමගි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ මොනවාදැයි ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඔප්පු කරන බවද ඇමැතිවරයා කීය.

එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය ලබන සතියේ පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සඳහා වන යෝජනාව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ (31) යවා ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයක එකමුතුවෙන් නව සමගි සන්ධාන ජාතික රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවු යෝජනාවේ සඳහන් වේ.

සන්ධානයේ 05 ක් ආණ්ඩුවට?

තවත් අමාත්‍ය ධුර ලබාදී ආණ්ඩුවේ 113ක බහුතරය නිශ්චිතව තහවුරු කරගැනීම ජාතික ආණ්ඩු යෝජනාවේ මුලික ඉලක්කය වී ඇත.

පසුගිය සමයේ එජාපයෙන්, ඒකාබද්ධ විපක්ෂයට එක්වූ සහ ඒකාබද්ධ විපක්ෂයෙන් එජාපෙ ආණ්ඩුවට එක්වූ කණ්ඩායම් සලකා බැලූවිට, මේ වනවිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 107ක් වන අතර මුස්ලිම් කොංග්‍රසය නමින් වෙනම සිටින මන්ත්‍රීවරයාද සමගින් එම සංඛ්‍යාව 108කි.

ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ දැනට ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාම නව ජාතික ආණ්ඩුවට එක්වුවහොත් ආණ්ඩුවේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ යනු ඇත.

එම 14 දෙනා එක් නොවුණහොත් ජාතික ආණ්ඩුවක 113 සඳහා සන්ධාන පාර්ශ්වයෙන් 05 දෙනකු එකතු කරගැනීමට එජාපය බලාපොරොත්තුවේ.

සිරිසේනගේ අළුත් ආණ්ඩුව!

මේ අතර 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපති සිරිසේන පවසයි.

ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ  (31) පස්වරුවේ එක්වෙමිනි.  

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බවද  ජනපති එහිදී පැවසීය.

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බවද  ජනාධිපතිතුමා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ රට පුරා නව දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ. 

නව කාර්යාල පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල විසින් පිළිගෙන සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ සමරු සටහනක් ද තැබීය. 

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා  වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැදිව හඳුනාගෙන  ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි.

සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු ශක්තිමත් ජනතාවාදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ කි‍්‍රයාකාරින් හඳුනාගත යුතු බව ද කියා සිටියේය.


ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර  ද මෙහිදී උත්සව සභාව ඇමතීය.

No comments:

Ad
Powered by Blogger.