Ad

බැසිල් ගෙන් මෛත්‍රීට බාල්දියක්: 'ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් පමණයි'


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ.

ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.”

ශ්‍රීලනිපයේ බලපෑම :

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘවරයා මෙසේ පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කල යුතු බවට ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් පොහොට්ටු පක්ෂයට බලපෑම් කරමින් සිටියදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) කොන්දේසි විරහිතව සහාය ලබාදිය යුතු යැයි දුමින්ද දිසානායක මහතා පසුගියදා මාධ්‍යට ප්‍රකාශකර තිබිණ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

පොදුජන පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂකත්වයට විරුද්ධ වීමට කිසිම සදාචාරාත්මක අයිතියක් දැන් නැතැයි ද දුමින්ද දිසානායක මහතා එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.