පොහොට්ටුව බළලුන් ලවා කොස් ඇට බාවන්න යයි: ජනපති ලවා යළිත් ව්‍යවස්ථාව කඩ කරවීමේ උත්සාහයක්.


පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තමන් යටතට පවරා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (14) ප්‍රකාශ කළේය. 

එම පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා එම මැතිවරණ පනතට ගෙන ආ යුතු සුළු සංශෝධනය එක්සත් ජාතික පෙරමුණු රජය විසින් ඉදිරිපත් නොකරන නිසා මෙසේ එම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක, පරිසර සහ මහවැලි අමාත්‍ය ධුර පමණි. එහෙයින් පළාත් සභා අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට ක්‍රියා කළහොත් එය පැහැදිලිවම ව්‍යවස්ථාව කඩ කිරීමක් වනු ඇත.

මීට පෙර ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේ පොහොට්ටුවේ පෙළඹවීම මතය. අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව එය තමන් නීති විශාරදයින්ගේ උපදෙස් මත කළ දෙයක් බවත් ව්‍යවස්ථාව කඩ කිරීමේ චේතනාවක් තමන්ට නොතිබුණු බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඒ මහතාට සිදු විය.

No comments:

Ad
Powered by Blogger.