ජනපති අපේක්ෂකයා රනිල්.


මීළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බව පසුගියදා නොනිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිය. ඒ, රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබු සාදයක දිය.

එජාපයේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ට එම සාදයට ආරාධනා කර තිබිණ.

එම සාදය පැවැත්වෙන අතරතුරදී දැවැන්ත තිරයක් මත රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටහනක් විකාශය කල අතර එහිදී රට ඉදිරියට ගෙනයා හැකි එකම නායකයා හා ඊට එජාපය තුල සිටින එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බව අවධාරණය කර තිබිණ.

එජාපයේ මෙන්ම රටේ එකම බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ මහතා බව හැඟවෙන ආකාරයෙන් එම විශේෂ වාර්තා වැඩසටහන සකසා තිබුනේ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක මහතා හා අගමැතිවරයාගේ ප්‍රචාරක උපදේශිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විසිනි.

නිල වශයෙන් නම්කර නැහැ !

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුයේ, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කර සියලු දෙනාගේ කැමැත්ත මත ඊළඟ එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරන බවයි.

එක්සත් ජාතික පක්ෂය ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නියත වශයෙන්ම ජයගන්නා බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට නායකයන් පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් විපක්ෂයට අපේක්ෂකයන් පිළිබඳ ප්‍රශ්න තිබුණද එජාපයට එවැන්නක් නොමැති බවත් එජාප මහ ලේකම්වරයා කීවේය.

පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ පවුල විසින් තෝරනු ඇතැයිද පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ඉදිරිපත් කිරීමට රාජපක්ෂ සමාගමින් පිටස්තර අයෙක් නොමැති බවත් එජාප මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Ad
Powered by Blogger.