ආණ්ඩුවේ විවෘත සංවාදශීලී ප්‍රතිපත්තිය ගැන සතුටට පත් වෙන බව UN මානව හිමිකම් මහ කොමසාරිස්ගේ ප්‍රසංශා.


ආණ්ඩුව තමන්ගේ කාර්යාලය සමඟ තිරසාර සහයෝගයෙන් කටයුතු කිරීම ගැනත් ආණ්ඩුවේ විවෘත සංවාදශීලී ප්‍රතිපත්තිය ගැනත් ඉමහත් සතුටට පත් වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචෙල් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන වාර්තාව ඉදිරිපත් කරමින් කීවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම් සහ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරමිනි.

තවද ඔක්තෝබර් මාසයේ සිදු වූ ව්‍යවස්ථා අර්බුදය සහ මාර්තු මාසයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හේතු වූ කාරණා නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට බාධා ඇති වූ බව ද ඇය ප්‍රකාශ කළාය.

ගිය වසරේ මාර්තු මාසයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට තුඩු දුන් සිද්ධීන් හා ඔක්තෝබර් මාසයේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ප්‍රතිසංස්කරණ ස්ථාපිත කිරීමට සුදුසු දේශපාලන පරිසරයක් පැවැතියේ නැතැයි ඇය වැඩිදුරටත් කීවාය.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිසන්වල තීරණාත්මක කාර්ය භාරය ඇයගේ අවධානයට ලක් විය. විශේෂයෙන්ම ජාතික මානව අයිතිවාසිකම් කොමිසම ගැන ඇය මෙසේ ප්‍රකාශ කළාය.

'ඒ කොමිසම් ස්ථාපිත කිරීම සහ ඔවුන්ගේ ස්වාධීනත්වයට අප ගරු කරනවා. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට තවත් පියවර රැසක් ගත යුතුයි'

මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව අනුව පසුගිය වසර හතර ඇතුළත ආයතනික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ශ්‍රී ලංකාව ගෙන ගිය පුළුල් ක්‍රියාමාර්ග ගැන මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය. කෙසේ වෙතත් මේ කටයුතු තවදුරටත් ස්ථාවර, පරිපූර්ණ හා කඩිනම් කළ යුතුව ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

'පරිවර්තනීය ක්‍රියාවලියේ සංකීර්ණභාවය මම පිළිගන්නවා. නිශ්චිත කාල රාමුවකට අනුකූලව පරිවර්තනීය ක්‍රියාවලිය සඳහා සවිස්තර සහ පරිපූර්ණ ක්‍රමෝපායන් සිදු කරන ලෙස මගේ කාර්යාලය අද දවසේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මීළඟ අදියරේ දී වැදගත් වන්නේ ස්වාධීන සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කිරීමයි' යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන වාර්තාව ඉදිරිපත් කරමින් ඇය තවදුරටත් කීවාය.

2018 අග මෙරට දේශපාලන සිදුවීම්වලදී දේශීය යාන්ත්‍රණවල සවිමත් බව පෙන්නුවා

මේ අතර 2018 අගභාගයේ මෙරට ඇතිවූ දේශපාලන සිදුවීම්වල දී අපගේ අධිකරණ, නිලධාරී තන්ත්‍ර හා ආරක්ෂක ආයතනවල ස්වාධීනත්වය, ප්‍රත්‍යස්ථිතිය, ශක්තිමත් බව හා අධිෂ්ඨාන සහගත බව ප්‍රර්ශනය කොට ඇති අවස්ථාවක, ජාත්‍යන්තර යහව්‍යවහාරයන් අන්තර්ගත නවෝත්පාදක හා ක්‍රියාත්මක කළ හැකි දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාදාම සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කළ යුතු බවත් ඊට සහය දැක්විය යුතු බවත් විදේශ ඇමැති තිලක් මාරපන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය සමඟ කෙරෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය යටතේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ සඳහන් කොට ඇති පරිදි ‘වින්දිතයන්ගේ සහ පෘථුල සමාජයේ විශ්වසනීයත්වය දිනා ගන්නා’ ආකාරයකින් මෙම සිදුවීම් අවසානයක් කරා ගෙනයෑමට අපට හැකි වන්නේ එවිට පමණක් බව ද මාරපන මහතා අවධාරණය කළේය.

දිනෙන් දින ඉහළ යන ත්‍රස්තවාදී ක්‍රියාවලට හා ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණ දී ඇති සමයක, ගැටුම අතරතුර දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ගත් පියවර ගනු ලැබූයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කොට තිබූ කණ්ඩායමකට එරෙහිව විනා කිසියම් ජන කොටසකට එරෙහිව නොවන බව පෙන්වා දුන් ඇමැතිවරයා තවද, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ට එරෙහිව නැඟෙන ඔප්පු වූ චෝදනා 2015 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල විමර්ශන (OISL) වාර්තාවේ හෝ ඊට පසුගාමී කිසිදු නිල ලියැවිල්ලක සඳහන් නොවන බව තරයේ කිව යුතු බව ද අවධාරණය කළේය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ හෝ නිලධාරියකුට, හිමි අයිතිවාසිකම් ලබා නොදීම අසාධාරණයක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය..

සිය අධිකරණමය ක්‍රියා පරිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝග පිළිබඳ ශ්‍රී ලංකා රජය ඉහළම දේශපාලන මට්ටම්වලින් ප්‍රසිද්ධියේත්, වර්තමාන සහ හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරුන් සහ සෙසු සංවාදකයන් සමඟ පැවැති සාකච්ඡාවලදීත් පැහැදිලි කර දී තිබෙනවා. පුරවැසියන් නොවන විනිශ්චයකාරවරුන් එවැනි ක්‍රියා පරිපාටියකට පත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ජනමතවිචාරණයක දී ජනතාවගෙන් ලැබෙන අනුමැතියෙන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කිරීමට නොහැකි බව පැහැදිලි කොට දී තිබෙන බව ද ඇමැතිවරයා කීය.


මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය තිලක් මාරපන, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහත්වරුන් සහභාගි වූහ.

No comments:

Ad
Powered by Blogger.