මෛත‍්‍රී: නාමික ජනාධිපතිකමට පසුබසී.


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධන යෝජනාවට ශ‍්‍රීලනිපය කණ්ඩායමේ සහාය ලබාදී, පාර්ලිමේන්තුවෙන් මීළඟ නාමික ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එජාපෙට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල ඇමතිවරයෙකු පැවසුවේ, 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව නාමික ජනාධිපතිවරයා ලෙස යළිත් මෛත‍්‍රීපාල සිරිසේන පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය හා එජාපෙ නායකයන් අතර සාකච්ඡුාවක් තිබෙන බවයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් ප‍්‍රකාශ කළේ, දැනට ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධන කෙටුම්පතට සංශෝධන කිහිපයක් එකතු කළහොත් එයට සහාය දැක්විය හැකි බවයි. ඔවුන් තවදුරටත් පැවසුවේ 20 වැනි සංශෝධනය පිළිබඳව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ පාර්ලිමේන්තුවේදී මුණගැසුණු අවස්ථාවලදී නොනිල සාකච්ඡුා පවත්වා ඇති බවයි.

නාමික ජනාධිපතිකමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේයැයි පොරොන්දු වී සිටින බවත් ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය සහයෝගය නොලැබෙන පසුබිමක එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඔවුහු කීහ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයට තනි කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීම ශ‍්‍රීලනිපයට විකල්පයක් ලෙස පවතින බව එක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිළේ මන්ත‍්‍රීවරුන් 29ක් සිටින අතර එජාපෙ, දෙජාස, ජවිපෙ යන පක්ෂවල මන්ත‍්‍රී කණ්ඩායම්වල මන්ත‍්‍රීධුර සංඛ්‍යාවද එක්වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඊට මහින්ද රාජපක්ෂ පිළේ මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ පමණ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එජාපෙ ප‍්‍රබලයෙක් අනිද්දා සමඟ කීය.

20 වැනි සංශෝධනය පිළිබඳව කළ විමසීමකදී අදහස් දක්වමින් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ ඊළඟ මැතිවරණය දක්වා තිබෙන කාලසීමාව ඇතුළත 20 වැනි සංශෝධනය සම්මත කළ හැකිදැයි සැකයක් පවතින බවයි. එසේ වූවත් ශ‍්‍රීලනිපය 20 සංශෝධන යෝජනාවට එකඟ නොවෙන්නේ දැනට පවතින මැතිවරණ ක‍්‍රමයෙන් ස්ථාවර ආණ්ඩු බිහි නොවීම නිසා බවත්, එම ගැටලූවට මේ වෙද්දී ජවිපෙ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු කීය. ඒ නිසා එම සංශෝධනයට පක්ෂව ඡුන්දය දීමට හැකියාවක් තියෙන නමුත් ශ‍්‍රීලනිපය තවම ඒ පිළිබඳව නිල තීරණයක් ගෙන නැතැයිද ඔහු කීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසුවේ ශ‍්‍රීලනිප නිල තීරණයක් ගෙන නැති බවත් අනෙකුත් පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සහාය දක්වන්නේ නම් ශ‍්‍රීලනිපයටද සහාය දැක්වීමේ හැකියාවක් තිබෙන බවත් ය.

No comments:

Ad
Powered by Blogger.