හමුදාවේ 11 දෙනෙකු මිය බොරුවට: පියල් අත්අඩංගුවට නොගැනීම ගැන බරපතල සැකයක්!


ත්‍රස්තවාදීන් හා ගැටුමක දී හමුදා සාමාජිකයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ දැරූ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අත්අඩංගුවට නොගැනීම රටේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවීමේ ස්වභාවය සම්බන්ධව බරපතල සැකසංකා මතුකරන්නක් බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවී ඇති අවස්ථාවක, බෝම්බ ප්‍රහාර හමුවේ ජනතාව දැඩි කම්පනයකින් පසුවන අවස්ථාවක, රටේ ආගමික සහ ජාතිකත්ව අතර කිසියම් සැකයක් මතුව ඇති අවස්ථාවක මෙවැනි මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සැහැල්ලුවෙන් තැකිය හැක්කක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

 දැනුවත්ව කියන බොරුවක් අහම්බයක් නොවේ !

ඔවුන් සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මතුව ඇති තත්ත්වය සහ එය ජාතිවාදී සහ ආගම්වාදී කෝලාහලයක් දක්වා වර්ධනයවීමේ ඇති අවධානම සම්බන්ධව නොදැනුවත්ව සිටිය නොහැක. පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට පෙර ගුරුවරයකු වීම හේතුවෙන් ඔහුට මේ ගැන දළ අවබෝධයක් හෝ නොතිබෙනු ඇතැයි කොහෙත්ම විශ්වාස කළ නොහැක. ඒ අනුව රටම කම්පනය වූ අවස්ථාවක වසර 10 කට පසුව එකම ස්ථානයක එක මොහොතක හමුදා සාමාජිකයන් 11 දෙනෙකු ඝාතනයවී ඇති බව රාත්‍රියේ විකාශයවූ සජීවී රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශයට පත්කිරීම අහඹුවක් විය නොහැකි බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ ඉතා සැළසුම් සහගතව මන්ත්‍රීවරයා මේ සාවද්‍ය ප්‍රකාශය සිදුකරන බවත් වැඩසටහන මෙහෙයවූ නිවේදකයා අදාළ ප්‍රකාශයේ වගකීම මන්ත්‍රීවරයා භාරගන්නවා දැයි විමසු අවස්ථාවේ ඔහු එහි වගකීම ගන්නා බව පමණක් නොව තමන්ගේ සාවද්‍ය ප්‍රකාශය සත්‍යක් ලෙස ජනතාවට හැඟවීම සඳහා අභිනයෙන් පවා උත්සාහ කරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

හමුදා සාමාජිකයන්ට කිසිම හානියක් නෑ !

මේ සාවද්‍ය ප්‍රකාශය මන්ත්‍රීවරයා සිදුකරන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පමණක් නොව නැගෙනහිර හමුදා ප්‍රධානියා පවා දැඩිව අවධාරණය කර සිටියේ කල්මුණේ මෙහෙයුම අවසානයේ ආරක්ෂක අංශයේ කිසිවකුට හානියක් නොවූ බවය. එපමණක් නොව මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බව අමුතුවෙන් කියන්න දෙයක් නැති තරමට සත්‍යය අනාවරණය වී හමාරය.

මේ හමුවේ වැඩිදුරටත් දේශපාලන විචාරකයන් පෙන්වාදෙන්නේ, පියල් නිශාන්ත මන්ත්‍රීවරයා එදින උත්සාහ කළේ 1983 කළු ජූලිය වැනි අන්තයකට රට ඇද දැමීමක් සඳහා බවයි. දේශපාලන විචාරකයකු ඒ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.

කළු ජූලියේ අත්දැකීම !

"කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙන. හමුදා සාමාජිකයන් 13ක් එයින් මියයනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ සිරුරු භූමිදාන කළයුත්තේ ඔවුනොවුන්ගේ නිවාස තියන ප්‍රදේශ වල. නමුත් 24 වනදා ඔවුන් සියළු දෙනාගේම සිරුරු බොරැල්ල කනත්තේ භූමිදාන කරන්න තීන්දු කරනවා. එතැනදී තමයි කොළඹ කේන්ද්‍රීයව සාමාන්‍ය දමිළ වැසියන් ඉලක්ක කර ප්‍රහාර දියත්වන්නේ. පසුව එය රටේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙනවා.

කොළඹ භූමිදාන කරපු මොහොත තමයි ඒ ජාතිවාදී ප්‍රහාරයට මිනිස්සු සූදානම් කළේ. ඊට වඩා බරපතල තත්ත්වයක් තමයි පසුගිය 26 රාත්‍රියේ සිදුවීමට තිබුණේ. පාස්කු ඉරිදා ප්‍රහාරය 21 වනදා. මුළු රටම කම්පනයෙන් සිටින අවස්ථාවක්. කල්මුණේ මෙහෙයුම් දියත් වෙන්නේ 26 වනදා. සිංහල බෞද්ධ සමාජය මේ දිනය ගන්නේ හත්දවසේ දානයට දිනයක් තිබියදී එකම තැනක එකම මොහොතක හමුදාවේ සෙබළු 11ක් මරාදැමුනු හැටියටයි.

පියල්ගේ බෝම්බය පත්තු වුණා නම් කළු ජූලියට වඩා දෙයක් වෙනවා !

හොඳ වෙලාවට ඇඳිරි නීතිය පනවලා, රටපුරා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටියේ. ඒ වගේම තිස් වසරක යුද්ධයේ අත්දැකීම් විසින් බහුතරයක් ජනතාව දැන් මේ වගේ මුග්ධ හැසිරීම් ප්‍රතික්ෂේප කළ බවක් පෙන්නුම් කරනවා. නමුත් ස්ථාන කිහිපයක හෝ සිදුවීම් සිදුවුණා නම් ! ගැටුමක් ඇතුලේ සිංහල වැසියන් කිහිපදෙනෙකුට අනතුරක් සිදුවුණා නම් ! එහෙනම් පැහැදිළි අනතුරක් රට හමුවේ මතුවෙන්න තිබුණා.

ඒ වගේම තමයි අමතක කරන්න හොඳනැති තවත් කාරණයක් තියනවා. ඒ තමයි සිංහල - මුස්ලීම්, කතෝලික - ඉස්ලාම් කෝලාහලයක් රටේ ඇති වුණානම් දැන් සිදුවන ත්‍රස්ත මර්දන මෙහෙයුම් වලට මොකක්ද වෙන්නේ, ඒ සියල්ල අසාර්ථක වෙනවා. ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධව කිහිපදෙනෙක් නැත්නම් ඉතාම සුළුපිරිසයි ඉන්නේ. සමස්ථ මුස්ලීම් ප්‍රජාව මීට සම්බන්ධ නෑ. ඒ මිනිස්සු තමයි අදටත් සැකකටයුතු ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ ඔත්තු රැසක් දී තිබෙන්නේ. ආරක්ෂක අංශ කියන විදිහට දැනුත් ඒ සහය මුස්ලීම් ප්‍රජාව ලබාදෙනවා.

ත්‍රස්ත මර්දන මෙහෙයුම් අඩාල වෙනවා : මුස්ලීම් ප්‍රජාවේ සහය අහිමි වෙනවා !

නමුත් බලන්න පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පත්තුකළ ගින්න ඇවිලිලා ගියානම් මොකද වෙන්නේ? මුස්ලීම් මිනිස්සු ආරක්ෂක අංශ වලට සහය දෙයිද? 83 කළු ජූලිය විසින් විමුක්ති කොටි වෙත අහිංසක දමිළ ජනතාව එකතුකරා වගේ මේ සිදුවීමේදී නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට නේද මුස්ලීම් ප්‍රජාව එකතු වෙන්නේ. එතැන නෙවෙයිද ඇත්ත අභියෝගය තියෙන්නේ. එහෙනම් අපේ රට සුඩානයක් වගේ වෙන්න තිබුණා.

දැන් අපි අවබෝධ කරගන්න ඕන, එහෙම දිග්ගැස්සුණු රට එකම අමු සොහොනක් වෙත කැඳවන දරුණු විෂබීජයක් සමාජගත කිරීම පිටුපස තියන දේශපාලනය. ඒ දේශපාලනයට අවශ්‍ය දේ තමයි රටේ රුධිර ගංගාවක් නිර්මාණයවීම. එතනදී තමයි වීරයා මතුවෙන්න ඉන්නේ. මම බේරගන්නම් මට බලය දෙන්න කියාගෙන.

මංගල ඇමති හරියටම කිව්වා :

මට මතකයි මංගල සමරවීර අමාත්‍යවරයා ඔය කාරණය හරියට අල්ලාගෙන තිබුණා. ඔහු පළමු මොහොතේම කිව්වේ රුධිරයෙන් ජීවය ලබන දේශපාලනය මෙයින් වාසි ගන්න එයි, පරිස්සම් වෙන්න කියලා. ඔහු මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරලා තිබුණා. නමුත් කෝ පරීක්ෂණයක්.

බරපතල සැකයක් !

ඒ නිසා තමයි අපි කියන්නේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම තුළ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවීම ගැන සැකයක් තිබෙනවා කියලා. සාමාන්‍ය මනුස්සයෙක් ඔය දේ කළා නම් මොකක් වෙයිද ? එහෙනම් ඔහුව කුදලගෙන යයි. නමුත් පියල් නිශාන්ත මන්ත්‍රීට එය වලංගු නැද්ද? ඒ තුළ මේ ත්‍රස්ත ප්‍රහාරය සහ පසු කම්පන තත්ත්වය ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් දක්වා වර්ධනය කිරීමේ කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක උපාය මාර්ගික සැලසුමක් තිබේද ? යන්න අනාවරණය කර ගන්න ඕන. ඒ නිසා පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කැඳවා මේ ප්‍රශ්න කළ යුතු නැද්ද? වඩාත් භයානක දේ තමයි, ඔහු තවමත් "මට වැරදුනා සමාවෙන්න" කියා හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකිරීම.

No comments:

Ad
Powered by Blogger.