සංචාරකයින් ගැන ධම්මිකගේ ප්‍රශ්ණයට අගමැතිගෙන් පිළිතුරු: ආරක්ෂාව දෙන්න ව්‍යාපාරිකයන්ට සහතිකයක්!


ශ්‍රී ලංකාව තුළට සංචාරකයින් පැමිණීමේ දී ගුවන්තොටුපළේ ආගමන අංශය කළමනාකරණය සඳහා පුද්ගලයන් යෙදවිය යුතු බවත් එසේ නැතහොත් ලංකාව තුළට පැමිණීමේ දී ඔවුන් එහිදීම අතෘප්තියට පත් වනු ඇති බවත් වැලිබල් වන් සමූහයේ සභාපති ධමිම්ක පෙරේරා මහතා පවසයි. අද (29) දින සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයින් හා ජනාධිපති අතර පැවති හමුවක දී ධම්මික පෙරේරා මහතා මේ බව පැවසීය.

“Immigration එකේ තියෙන මැෂින්වල capacity එක අඩුයි කම්පියුටරේ. ස්කෑන් එකේ ටයිම් එක ගන්නවා. ඉස්සරහා තියෙන queue management එක දැන් දාලා තියෙන්නේ සිංගප්පූරු විදියට නෙමෙයි, single queue එකේ ගිහිල්ලා යන්න. එතකොට queue management මිනිස්සුන්ව දාන්න ඕනේ, එයාර්පෝට් එකෙන්, ඒ ඉස්සරහා Queue වලට. මේ ටික ඉවර කළොත් මං හිතන්නේ 30%-40% ක් විතර මේ immigration එක හදන්න පුළුවන්. නැත්තං මිනිස්සු එනකොටම immigration එකෙන්ම depress වෙනවා මේ වගේ වෙලාවක.“

මේ අතර මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

“Immigration එක තාම ලින්ක් වෙලා නැහැ CID database එකට. ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙලා නැහැ. ඒ නිසා කිව්වා ඊළඟ දවස් 3-4 දී ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙන්න. Border security එකටත් link වෙලා නැහැ. අපි කැබිනට් එකෙන් අනුමත කළාට, කවුරුවත් කැමති නැහැ තමන් එක්ක තියෙන තොරතුරු අනෙක් මිනිහට දෙන්න. දැන් ඒකත් බල කර ගෙන යනවා, අපහු අදාළ ඇමතිවරු කැඳවලා,  Border security දෙන්න. එතන දී එක එක ප්‍රශ්න ඇති වෙන්න යනවා. තව සුමානයක් දවස් 10 ක් විතර ප්‍රශ්න ඇති වෙයි මේක ලින්ක් කරන එක.“

ඉල්ලන ඕනෑම තැනකට ආරක්ෂාව 

එසේම එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත‍්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟා සිටුවමින්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් ද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී පත් කරන බව ජනාධිපතිතුමන් මෙහිදී ප‍්‍රකාශ කළේය. එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් සහනදායී ක‍්‍රම යටතේ මුල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම පිළිබඳ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ත‍්‍රස්තවාදය පරාජය කළ හැකි බවයි. එය ස්ථීර වශයෙන් ම සිදු කරනවා මෙන්ම සිදු කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ත‍්‍රස්තවාදය මැඩැලීමට අදාළ වැටලීම් මේ වන විට දීප ව්‍යාප්තව ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වන බවත්, මෙරට ආරක්ෂක අංශ කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති අතර ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් කිසිඳු පසුබෑමකින් තොරව ඉදිරියටම කි‍්‍රයාත්මක වන බවත් ජනාධිපතිතුමා කියා සිටියේ ය.

එබැවින් කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති අතර, අද සිට රටේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඕනැම ස්ථානයකට ආරක්ෂාව අවශ්‍ය නම් එම ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වයෙන් නැගී සිටිමින් තම ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය නොඅඩුව ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය. ඒ පිළිබඳ ඕනැම ඉල්ලීමක් පෞද්ගලිකව වුව ද තමා හමුවී ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු සති දෙකකට වරක්වත් ව්‍යාපාරික ප‍්‍රජාව හමු වී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද දැන්වීය.

මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විශේෂ සහය මෙහිදී ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුවූ ගැටලුකාරි තත්ත්වය පිළිබඳව සියලු ව්‍යාපාරික ප‍්‍රජාව වෙත තම කනගාටුව පළ කිරීමට ද කටයුතු කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටට මුහුණදීමට සිදුවූ මෙම ඛේදජනක සිදුවීමේ දී අප කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගනිමින් සිටීම නොව, සියලුදෙනා එක්වී රට යළි යථා තත්ත්යට පත් කරගනිමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවීම බවයි.

රට තුළ ඇති වූ මෙම අයහපත් තත්ත්වය සමනය කර ගනිමින් සංචාරක ව්‍යාපාරය සහ හොටල් ක්ෂේත‍්‍රය ඇතුළු ව්‍යාපාර යළි ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාව ද අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ.

ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජාත්‍යන්තරව සංවිධානය වූ මෙම ත‍්‍රස්ත කණ්ඩායමට ඉතා සාර්ථකව මුහුණ දෙමින් වේගයෙන් නැඟී සිටී ලොව එකම රට ශ‍්‍රී ලංකාව බවයි. එහි ගෞරවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහ විරෝධාර රණවිරුවන්ට හිමිවන බව පැවසූ හැරි ජයවර්ධන මහතා ඉදිරි දින කිහිපය තුළ දී මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවෙන් සහමුලින්ම තුරන්ව රට යථා තත්ත්වයට පත්වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

එමෙන්ම ත‍්‍රස්ත අභියෝගය හමුවේ ජනාධිපතිතුමා කටයුතු කළ අන්දම ඇගැයීමට ලක් කළ හැරි ජයවර්ධන මහතා ත‍්‍රස්තවායට එරෙහිව ජනාධිපතිතුමා ගත් ඝෘජු පියවර සහ ප‍්‍රකාශ ස්තූති පූර්වකව සිහිපත් කළ අතර ලෝකයට අවශ්‍ය එය බව ද කියා සිටියේ ය.

ශ‍්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත, ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු ව්‍යාපාරික ප‍්‍රජාව නියෝජනය කරමින් අදහස් දැක්වූ අතර මෙම අසිරු අවස්ථාවේ නැඟී සිටීමට ශක්තියක් වීම පිළිබඳ එම සියලුදෙනා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ස්තූතිය පළ කළේය.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය ජෝන් අමරතුංග, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මලික් සමරවික‍්‍රම, ඉරාන් වික‍්‍රමරත්න, රංජිත් අළුවිහාරේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු ව්‍යාපාරික ප‍්‍රජාව මීට එක්ව සිටියහ.

No comments:

Ad
Powered by Blogger.