ජාතික හොකී සම්මේලන නිලවරණය දූෂිතයි: ඇමැති හරීන්වත් අන්දලා දැයි සැකයි [Video]

ජාතික හොකී සම්මේලනයේ නිලවරණය අන්ත දූෂිත ආකාරයට පැවැත්වීමට විරෝධය දක්වමින් මෙවර නිලවරණය සදහා ඉදිරිපත් වූ පාර්ශවයක් ක්‍රීඩා අමාත්‍යාංශ ශාලාවෙන් පිටතට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ජාතික හොකී සම්මේලනය කාලයක් තිස්සේ අරක්ගෙන සිටි සුමිත් එදිරිසිංහ ඇතුළු පාර්ශවයේ තිබූ අන්ත දූෂිත පරිපාලනය හේතුවෙන් පසුගිය සමයේ හොකී නිලවරණයක් පවා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණ.


ඒ හේතුවෙන් මෙතෙක් හොකී ක්‍රීඩාවේ පරිපාලනය සිදුවූයේ අතුරු පාලක මණ්ඩලයක් හරහා ය.


මෙවර නිලවරණය අද (10) පැවැත්වීමට කටයුතු යෙදුණේ ද ඒ අනුවය.


විරිත්තමුල්ල හොකී මාෆියාවට යට වෙයි : විරෝධතා භාර ගන්න බය වෙයි !

එහෙත් නිලවරණයේ නාම යෝජනාවන්ට අදාල විරෝධතා දැක්වීමට එක් පාර්ශවයක් සූදානම්ව ඇති අතර එහිදී නිලවරණයේ තේරීම් භාර නිලධාරීයා ලෙස කටයුතු කල ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සාමාජිකයකු වන විරිත්තමුල්ල විසින් ඊට අවස්ථාව ලබාදී නොමැත.


විරෝධතා ඇත්නම් නිලවරණය අවස්ථාවේ ඉදිරිපත් කරන්න - ඇමැති හරීන්


ඒ අවස්ථාවේ දී විරෝධතාව ගොනුකිරීමට ඉදිරිපත් වූ පාර්ශවය සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ (09) හමුවූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද නිලවරණයට අදාල විරෝධතා ඇත්නම් අද දිනයේම ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව දැන්වූ බවයි.


එහෙම කතාවක් මට ඇමැති කිව්වේ නෑ - විරිත්තමුල්ල

නමුත් තමා ඒ ගැන දැනුවත් නොමැති බව සදහන් කරමින් විරිත්තමුල්ල නම් නිලධාරීයා විරෝධතා භාර නොගෙන නිලවරණය පැවැත්වීමට සූදානම් ව ඇත


එහිදී හොකී නිලවරණය සදහා පැමිණ සිටි ක්‍රීඩා සංගම් 6ක පමණ නියෝජිතයන් පෙන්වාදී ඇත්තේ විරෝධතා දැක්වීම ඉඩනොදීමෙන් අසාධාරණයක් සිදුවන බවයි.


රත්නපුර - මාතර හොකී සංගම් නිලවරණයට විතරයි : හොකී කණ්ඩායමක්වත් නෑ !

විශේෂයෙන් හොකී පිටියක් තබා හොකී කණ්ඩායමක්වත් නොමැති , කිසිදු තරගාවලියකට ඉදිරිපත් නොවන රත්නපුර සහ මාතර හොකී සංගම් පිහිටුවා නිලවරණය සදහාම පමණක් ඔවුන් යොදවන වංචනික තත්ත්වයක් තිබෙන බව එම සංගම් පෙන්වාදී තිබේ. එසේම එවැනි සංගම් යොදවා සිදුකරන නිලවරණය සාධාරණ නොවන බවත් නිලවරණය පවත්වනවා නම් එම රත්නපුර සහ මාතර හොකී සංගම් සදහා ජන්ද අයිතිය ලබා නොදිය යුතු බවත් විරෝධතා දැක්වූ සංගම් අවධාරණය කර තිබේ.


ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ රහස්‍ය වාර්තාව !

එසේම තම විරෝධතාව සදහා සාක්ෂි ලෙස අධිකරණ වාර්තා මෙන්ම හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ රහස්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරන්න්ට එම සංගම් කටයුතු කර ඇත.


එහෙත් ඒ කිසිවක් නොසලකා විරිත්තමුල්ල නිලධාරීයා නිලවරණය පැවැත්වීමට සූදානම්ව ඇති අතර ඊට විරෝධය දක්වමින් ක්‍රීඩා සංගම් 6ක පමණ නියෝජිතයන් නිලවරණය වර්ජනය කර ශාලාවෙන් පිටතට පැමිණ ඇත.


නිලවරණය වර්ජනය කළේ සක්‍රීයම හොකී සංගම් !

එසේ පැමිණි ක්‍රීඩා සංගම් වන්නේ මෙරට සක්‍රීයම හොකී සංගම් වන කොළඹ හොකී සංගමය, මාතලේ හොකී සංගමය , වෙළෙඳ සේවා හොකී සංගමය , නුවර හොකී සංගමය , යාපනය හොකී සංගමය සහ විශ්ව විද්‍යාල හොකී සංගමය යන සංගම් වල නියෝජිතයන් ය.


මේ සම්බන්ධව අප කල විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සදහන් කර සිටියේ හොකී ක්‍රීඩාව රැකගෙන එය නැංවීමට මිස හොකී සම්මේලනය අරක්ගෙන එයින් යැපෙන බහිරවයින්ට අවශ්‍ය ආකාරයට තබන නිලවරණය තමන් ප්‍රතික්ෂේප කරන බවය.


එසේම කිසිදු විනිවිදභාවයක් නොමැති නිලවරණයකට ඉදිරිපත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවත් තවදුරටත් හොකී ක්‍රීඩාව වනසන මාෆියාව රට හමුවේ අනාවරණය කිරීමට තම පාර්ශව කටයුතු කරන බවත් ඔවුන් පවසයි.


එසේම ඉදිරියේ දී යළිත් අමාත්‍යවරයා මුණගැසී හොකී ක්‍රීඩාව මුහුණදී තිබෙන අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි කිරීමට තමන් කටයුතු කරන බවත් එසේම කණ්ඩායමක් ලෙස හොකී ක්‍රීඩාව රැකගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක්ම සැලසුම් කරන බවත් ඔවුන් පවසයි.



No comments:

Ad
Powered by Blogger.