රටේ අධ්‍යාපනය ගැන තීන්දු අධ්‍යාපනඥයන් ගතයුතුයි: ජනපති.

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක් දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව රට තුළ මතු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ඊයේ(11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය අද රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

ජනප්‍රිය පාසල් යන සංකල්පය ඉලක්ක කර ගනිමින් 05 වසර ශිෂ්‍යත්වය තුළ ඇතිව ඇති තරගකාරිත්වය රටේ දරුවන්ගේ අධ්‍යාපනයට යහපත් තත්ත්වයක් නොවන අතර මෙම තත්ත්වය රටේ දරුවන් වෙනුවෙන් කඩිනමින් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනප්‍රිය පාසල් සහ හොඳම පාසල් යන සංකල්පය තුළ අද රටේ දරුවන්ට අධ්‍යාපනයේ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර විධිමත් අධ්‍යාපන සැලැස්මක් තුළ සියලු පාසල් හොඳම පාසල් බවට පත් කරමින් රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් සිටියේ ය.

ගුරු ගැටලුව හේතුවෙන් අධ්‍යාපනයේ සිදුව ඇති විසමතාව පිළිබඳ ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගුරු ගැටලුව විසඳීමට ද විධිමත් ප්‍රතිපත්තියක් පිළිබඳ කඩිනම් අවධානය යොමු විය යුතු බවයි.

ජනප්‍රිය පාසල් සංකල්පය තුළ විශාල දරුවන් පිරිසක් කොළඹ නගරයේ පාසල්වලට ඇදී ඒම හේතුවෙන් අද කොළඹ නගරයේ දරුවන්ට පාසල් අහිමිවීමේ ඛේදජනක තත්ත්වය ද මෙහි දී ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එමෙන්ම අධ්‍යාපනයේ තරගකාරිත්වය තුළ එක් පාසලක් සඳහා අසීමිත සිසු පිරිසක් වාර්ෂිකව ඇතුළත් කර ගැනීම හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය මෙන්ම විනයවත් අනාගත පරපුරක් ගොඩනැඟීමේ දී මතුව ඇති අභියෝගය ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසිකර ඒ සඳහා ඉදිරිපත් කෙරෙන විකල්ප වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී අධ්‍යාපනඥයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වත් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

No comments:

Ad
Powered by Blogger.