ජරමර අස්සේ සරත් ෆොන්සේකා, පොදු අපේක්ෂකත්වයට වෑයමක!


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව රට තුළ මතුවූ ව්‍යාකූලත්වය හමුවේ ඉස්මතු වූ දේශපාලන චරිත කිහිපය අතර එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද ඉදිරියෙන්ම සිටියේය. 

යම්කිසි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ තොරතුරු ලබාදී තිබියදීත් බලධාරීන් ක්‍රියාකළ ආකාරය පිළිබඳව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ තියුණු විවේචනය ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශවයේම හිතවතුන් අතර මහත් ඇගයීමට ලක්වනු දැකගත හැකිවිය.

ජාතික ආරක්ෂාව පිළිබඳව සහ ත්‍රස්තවාදය මර්ධනය කිරීම පිළිබඳව මනා අත්දැකීම් සහිත දේශපාලනඥයකු වශයෙන් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදිය යුතු බවට යෝජනාවක් ද කරළියට පැමිණියේ මේ අතරය. ඊට ද බොහෝ පාර්ශ්ව සහාය පළ කරන ආකාරයක් දැකිය හැකිවූ නමුත් ජනාධිපතිවරයා එම යෝජනාවට තරයේ විරුද්ධ වූ බවත් වාර්තා විය.

කෙසේවෙතත් මේ වනවිට සරත් ෆොන්සේකා මහතා තමන් ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය වෙනුවෙන් නොව රට වෙනුවෙන් පෙනී සිටින බව කියමින් විවිධ පාර්ශ්ව වෙත කර්කශ විවේචනවලින් දමා ගසමින් අලුත්ම රංගනයක් ආරම්භ කර ඇති බව පෙනේ.

තමන්ට ලබාදීමට ඉදිරිපත්වන තනතුරු නොව තමන් ඉල්ලා සිටින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයම තමන්ට අවශ්‍ය බව අවධාරණය කරමින් සහ මේ මොහොතේ ජනතාව අතර ජනප්‍රිය වියහැකි නොයෙකුත් ප්‍රකාශ සිදු කරමින් ෆොන්සේකා මහතා මේ එන්නේ ඊළඟ ජනාධිපතිවරණයෙහි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ වටපිටාව සකස් කරගැනීමට බව තවදුරටත් රහසක් නොවේ.

ඒ සඳහා ඔහු විවිධ පාර්ශ්වවලින් උදව් ඉල්ලා තිබුණු බව ද වාර්තා විය.

සරත් ෆොන්සේකා යනු ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වකෝෂයක් හෝ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි අවසානයා හෝ නොවන බව සරල සත්‍යයකි.

සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයකු ලෙස සිය දක්ෂතාවය ඔප්පු කළා සේම දේශපාලනඥයකු ලෙස සිය අසමත් භාවය ද සමාජය ඉදිරියේ ඔප්පු කළේ වරක් දෙවරක් නොවේ. පාලනයක් නොමැති වචන, කුකුල් කේන්තිය, දරුණු ලෙස පළිගන්නාසුළු හැසිරීම, තමන් පිළිබඳ අධි මමංකාරය ඔහු බොහෝ අවස්ථාවල විදහා පෙන්වූයේය.

විශේෂයෙන්ම දේශපාලනඥයින් සතුව තිබිය යුතුම වන සාමුහිකත්වයේ වගකීම එක දශමයකින්වත් තමන් සතුව නොමැති බව ඔහු මේ මොහොතේදීත් කට අරින වාරයක් වාරයක් පාසා ඔප්පු කරමින් සිටී.

ආණ්ඩුව තුළ, තමන්ගේ දේශපාලන පක්ෂය තුළ පවත්වාගෙන යායුතු සංහිඳියාව නොතකා සිය උන්නතිකාමී පෞද්ගලික අරමුණු වෙනුවෙන් මීටර් සීය දුවන්නට සැරසෙන ෆොන්සේකා මහතා රටේ සංහිඳියාව තඹයකට නොතකනු ඇති බව තේරුම් ගැනීමට දේශපාලන විද්‍යාව පරතෙරට උගත යුතු නොමැත. ඊට සාමාන්‍ය දැනුම ප්‍රමාණවත්ය. එපමණක් නොව ෆොන්සේකා මහතාගේ වත්මන් ක්‍රියාකාරීත්වය හරහා තටු එන්නේ ඔහුට නොව ජාතිවාදී අන්තවාදීන්ටම සහ මිලිටරි ආඥාදායකත්වයක් ඉල්ලා සිටින මුග්ධයින්ට ද බව තේරුම් ගැනීම ද මහා අසීරු කාරියක් නොවේ.

එහෙයින් පවතින ව්‍යාකූල තත්වය හමුවේ "මං පොරවාදය" දෙසා බාමින් අතෝරයක් නොමැතිව ඩෙඟා නටන සරත් ෆොන්සේකාට ඊට ඉඩදී බලා සිටින සහ ඔහුගේ රංගනයෙන් වාසි ලැබීමට අපේක්ෂා කරන දේශපාලනඥයින් ද මෙහි ඉදිරි ඵලවිපාක තමන් ආශා කරන පන්නයේ ඒවා නොවීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව දැන්වත් දැනගත යුතුව ඇත.

තමන් බොර කරන දියේ මාළු බානු ඇත්තේ වෙනත් අය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට කීමෙන් නම් ඵලක් නොවනුත් ඇත.

[LNW]

No comments:

Ad
Powered by Blogger.