ජාතිවාදය දෝරේ ගලයි: ජනාධිපතිගේ ට්විටර් ඇඩ්මින්වත් ත්‍රස්තවාදියෙක් කරලා.


මීට මාස පහකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ට්විටර් ගිණුමේ ඇඩ්මින් ලෙස සිටි හම්සා හනීෆාව ත්‍රස්තයෙක් කර ඔහු නවාතැන්ගෙන සිටි බෝඩිමෙන් පන්නා දැමීමට කටයුතු කළ පුද්ගලයකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

හම්සා හනීෆා 2017 දී ජනප්‍රියම ට්විටර් පණිවුඩයේ හිමිකරුවා මෙන්ම සෝෂල් මීඩියා අයිකන් ලෙසත් සම්මානයට පාත්‍රවූවෙකි.

ඔහුට ඊයේ විදීමට සිදුවූ අප්‍රසන්න සිදුවීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සිංහල භාෂාවෙන් සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

"ඊයේ රෑ ලියන්න හිතුවත් ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. මේ වගේ දේවල් කාටත් නොවේවා කියලා මේක ලියන්නම්.
මං නැවතිලා හිටියේ සිංහල මනුස්සයෙකුට අයත් ගෙදරක. මාසෙට 10,000 ක් ගෙවා ගෙන හිටියේ. 21 වනදා සිද්ධියෙන් පසු ඊයේ දක්වා බෝඩිමේ අන්කල් විටින් විට මගෙන් දරුණු ප්‍රශ්ණ ඇහුවා. ඒ ප්‍රශ්ණ මාර වේදණීයයි. සමහර වෙලාවට ඇහුවා ඔයත් මේ සිද්ධී වලට සම්බන්දයිද කියලා.මගේ ID අනං මනං ඔක්කොම විස්තර ආයේ ගත්තා. පස්සේ ගිය සතියේ මට එකපාරට කෝල් කරලා කිව්වා "පොලිසියෙන් කිව්වා ඔයා අහවල් ස්ථානයේ වැඩ කරන්නේ නෑ කියලා, ඔයාව සැකයි" කියලා. පස්සේ බැලුවොත් මූ මගේ විස්තර කියලා වෙන එකෙක්ගේ දීලා.

රටේ වාතාවරණයත් එක්ක මන් හිත හදාගත්තා මේ මනුස්සයට සැක හිතන එක සාදාරණයි කියලා. හැබැයි ඒ මනුස්සයා කොහොම නරුමයෙක්ද කියලා ඊයේ රෑ තේරුණා. හවස 6 ට විතර රට පුරා රාත්‍රී 9 සිට ඇඳිරිනිතිය ප්‍රකාශ කලා. මම හිටියේ බෝඩිමේ. රෑ 8.40 ට විතර බෝඩිමේ අංකල් මට කෝල් කරා. හෙලෝ ඔයා කොහෙද ඉන්නේ ඇහුවා. මං කිව්වා බෝඩිමේ කියලා.මිනිහා කිව්වා පොඩි ප්‍රශ්ණයක් තියනවා කියලා. මන් මොකද ඇහුවා පිලිතුර වුනේ "පොලීසියෙන් අපිට කිව්වා මුස්ලිම් මිනිස්සු ගෙදර තියාගන්න එපා කියලා. ඔයාට බෝඩිමෙන් යන්න වෙනවා. මට හිරේ යන්න බෑ"කියලා. අනේ පොලිසියෙන් නම් එහෙම දෙයක් කියන්නේ නෑ.

මන් කිව්වා දැන් නම් කොහෙවත් යන්න විදිහක් නෑ. මට දවසක් දෙන්න කියලා. මිනිහා අකමැත්තෙන් හා කිව්වා. මට මාර අවුල්. මතක් වුනේ අපේ බොසාව. බොසාට කෝල් කරලා සිද්ධිය කියද්දිම බොසා එන්නම් කිව්වා මාව ගන්න එවෙලාවෙම. මන් එපා කිව්වා ඇඳිරිනීතිය නිසා. මන් ඊට පස්සේ පාන්දර 2 වෙනකං බඩු අස් කරා. ඔක්කොම පැක් කරේ හෙනම හිතේ අමාරුවෙන්. ඒ වෙන මොකටවත් නෙවෙයි. මන් බෝඩිමේ ගාස්තු පවා මාසේ පලවෙනි දවසම දෙන එකෙක්. ඒ මදිවට මේ ලඟකදි බෝඩිමේ අංකල් එයාගේ ෆැමිලි එකත් එක්ක අම්බුලුවාව බලන්න ආවා කිව්වා. මං කිව්වේ අයියෝ අපේ ගෙදර එන්න තිබ්බා නේ කියලා.

එහෙම හිටපු කෙනෙක්ට කිසිම මනුස්ස ගතියක් නැතිව ඒ සලකපු විදිහට ස්තුතියි අංකල්. මං අවුරුදු 22ක් හැදුන අපේ ගම්පොළ පරණ ගෙදර දෙපැත්ත තියෙන්නේ සිංහල සහ හින්දු ගෙවල්. ඒ මිනිස්සු එක්ක අපි එකට කෑම කනවා, එකට සෙල්ලම් කරනවා, හවස් වරුවේ චැටක් දානවා, කොටින්ම කිව්වොත් ඩිලාන් තමයි මගේ හොඳම යාලුවා. ඒ සිංහල මිනිස්සුයි, මේ සිංහල මිනිස්සුයි සංසන්ධනය කරලා බලද්දි මෙහෙම සිංහල මිනිස්සුත් ඉන්නවද කියලා හිතුනා. අවුලක් නෑ. යන්න නම් ඕන තරම් තැන් තියනවා. ආයේ මට ඉන්න තැනක් හොයනකන් එයාලගේ ගෙදර ඉන්න කිව්වෙත් සිංහල බෞද්ධ අපේ බොසා. සිංහල යාලුවෝ. මෙව්වා අවුලවපු හැමෝටම දැන් ගොඩාක් සතුටුයිනේ ? එහෙනම් එච්චරයි.”

No comments:

Ad
Powered by Blogger.