ජවිපෙ විශ්වාසභංගය බරපතලයි: තවත් වැනුනොත් රනිල් ගෙදර.


ජනතා විමුක්ති පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය දැක්වීම වෙනුවෙන් අද (21) කතානායක වෙත ලබාදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධව චෝදනා මුළුමනින්ම පදනම්ව ඇත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වුවත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අසමත් වුවහොත් අග්‍රාමාත්‍යවරයා බරපතල දේශපාලන අභියෝගයකට මුහුණදෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වාදෙන ආකාරයට ජවිපෙ විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන චෝදනා 6ක් ඇති අතර ඊට සෘජු පිළිතුරු ලබාදීමේ කිසිඳු හැකියාවක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට නොමැත.

නමුත් ඒවාට නිශ්චිත හේතු දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට සිදුවන අතර එහිදී විවෘත අදහස් දැක්වීමක් සිදුනොකර තවදුරටත් අනවශ්‍ය ලෙස ආරක්ෂණවාදී වීමට ගියහොත් අග්‍රාමාත්‍යවරයාගේ 2020 ජනාධිපති අපේක්ෂකත්ව බලාපොරොත්තුව පවා ගිළිහීයාමේ අවස්ථාව ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මෙහිදී දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පසුගිය කාලයක පටන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිරිසේන සමඟ ආතතිගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඒකපාර්ශවීය උත්සාහයක නියැලෙන බවත් ජවිපෙ විශ්වාසභංග යෝජනාව හමුවේ ඒ උපක්‍රමය කල් ඉකුත්වූ තත්ත්වයකට ඇදදමා තිබෙන බවය.

ඒ අනුව ජවිපෙ විශ්වාසභංග යෝජනාව මෙරට දේශපාලනයේ ආන්දෝලන කිහිපයකට තුඩුදිය හැකි බවත් මේ සම්බන්ධව ධනාත්මක ස්ථාවරයක සිට නිරීක්ෂණය කිරීම වැදගත් බවත් දේශපාලන විචාරකයන් පවසයි.

උත්තර දෙන්න සිරිසේනට පාර්ලිමේන්තු එන්න වෙයි !

 අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන දේශපාලන විචාරකයන් මෙසේද වැඩිදුරටත් කරුණු දක්වයි.

 ජවිපෙ විශ්වාසභංග යෝජනාවේ එන පළමු ප්‍රධාන චෝදනාව අනු කොටස් 8 කින් සමන්විත අතර විශ්වාසභංග යෝජනාවේ පදනම ලෙස සැළකිය හැක්කේද එකී චෝදනාවය. මෙහිදී මූලික වී ඇත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය අවධානය නිසිලෙස නොදැක්වීමය. එසේම බරපතළ නොතකා හැරීමක් මේ තුළ සිදුව ඇති බවය.

 නමුත් ව්‍යවස්ථාවට අනුව නම් ජාතික ආරක්ෂාව විෂය භාරව සිටින්නේ ජනාධිපතිය. එබැවින් මූලික චෝදනා වෙනුවෙන් පිළිතුරු දීමට ඔහු බැඳී සිටින අතර නැතහොත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් ලබාදෙන පිළිතුරු වලදී ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම් විරහිත බවට වන චෝදනා ජනාධිපතිගේ ගිණුමට බැරවීම වළක්වාගත නොහැකි වනු ඇත.

 අගමැතිව ආරක්ෂක මණ්ඩලයට කැඳවුයේ නැද්ද ?

 මෙහිලා ඉතා වැදගත් සහ තීරණාත්මක චෝදනාවක් වන්නේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩල සභාවාරයන්ට සහභාගීව නැති බවට එල්ල වන චෝදනාවයි. ඊට පිළිතුරු මේ වන විටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, විශේෂයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාට සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට 2018 ඔක්තෝබර් 26 සිට අදාළ ප්‍රහාරය එල්ලවූ 2019 අප්‍රේල් 21 දක්වා කිසිඳු අවස්ථාවක ආරක්ෂක මණ්ඩලයට වාර්තා කිරීමට ජනාධිපති සිරිසේන අවස්ථාව ලබාදී නොමැති බවය.

මේ සම්බන්ධව විචාරක මතය වන්නේ ව්‍යවස්ථාවට පරිභාහිරව ජනාධිපතිට හැසිරීමට ඉඩදී නිහඬව සිටීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කටයුතු කල බැවින් මෙවැනි අභූත වුවත් වගකීමෙන් මිදීමට නොහැකි චෝදනාවකට ලක්වීමට සිදුව ඇති බවයි.

මෙහිදී දේශපාලන විචාරකයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය පාර්ලිමේන්තු සභාවාරයක දැක්වූ අදහස් සිහිපත් කරයි. ඒ අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක මණ්ඩල හමුව සඳහා සහභාගීවීමට අවස්ථාව නොදුන්නේ නම් ඒ ගැන පෙර සඳහනක් සිදුනොකළේ මන්ද යන්නයි.

 පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න පමා කරවූයේ කවුද ?

 අවම වශයෙන් ප්‍රහාරය එල්ලවූ අප්‍රේල් 21 වනදා ආරක්ෂක මණ්ඩලයේ හදිසි කැඳවීමක් සිදුකරන්නට අග්‍රාමාත්‍යවරයා උත්සාහ කල නමුත් එයද කිසියම් හේතුවක් මත පමාවූ බවත්, ඒ සිරිසේන ජනාධිපතිගේ මැදිහත්වීමක් නිසා සිදුවූවක් බවට ප්‍රචාරය වුවත් ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා නිසි අනාවරණයක් නොකර සිටීමත් ප්‍රශ්නකාරී බව දේශපාලන විචාරක අදහස වී තිබේ. ඔවුන් පෙන්වාදෙන්නේ මේ අනවශ්‍ය සත්භාවී හැසිරීම පෙරළා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අපහසුතාවකට සහ ජනතාව අතර අපකීර්තියට තුඩු දුන්නක් වූ බවය.

පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන්න නොහැකි වූයේ ඇයි ?

එසේම පාස්කු ප්‍රහාරයෙන් සති ගණනකට පසුව අහිංසක මුස්ලීම් වැසියන් ඉලක්කකර දියත්වූ ප්‍රචණ්ඩත්වය ගැනත් මේ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කර ඇති අතර එයද අතිශය වැදගත් බව විචාරක මතය වී තිබේ. ඒ මෙම ප්‍රහාර දියත්වන අවස්ථාවේ ජනාධිපති සිරිසේන චීන සංචාරයක් සඳහා රටින් බැහැරව සිටීම සහ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත්කර තිබීමය. ඒ අනුව ප්‍රහාර මාළාවක් අහිංසක මුස්ලීම් වැසියන් ඉලක්කකර දියත්වූ අතර එය සිදුවූයේද අදහාගත නොහැකි නීතිය පවා පනවා තිබු පසුබිමකය.

දයාසිරි - මධුමාධව නීතියට උඩින් ගියේ කොහොමද ?

එසේම දයාසිරි ජයසේකර පැමිණ පොලිස් අත්අඩංගුවේ සැකකරුවන් නිදහස්කරගෙන ගොස් පොලිස් ඇප මත මුදාහරින්නට කටයුතු යෙදීම සහ ඊට අදාළ ක්ෂණික නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව නියත වශයෙන්ම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට පිළිතුරු දීමට සිදුවන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රහාර සිදුවන අවස්ථාවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම ස්ථානයේ සැකකටයුතු ලෙස ගැවසීම, නාමල් කුමාර ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ කෝළාහල වල ගැවසීම ඇතුළු නීතිය හා සාමය කඩවීම් වලට අදාළ පාර්ශවයන් සම්බන්ධව අනුගමනය කෙරුනේ ලිහිල් ප්‍රතිපත්තයක් බව පෙනෙන්නට තිබුණු බවත් ඊට පිළිතුරු දීමටද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට සිදුවනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

 හරියට උත්තර නොදුන්නොත් : රනිල්ගේ චැප්ටර් ක්ලෝස් !

 ඒ බව සඳහන් කරමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ තවදුරටත් උගුරට හොරා බෙහෙත් බොමින් ගෙනගිය මේ ආණ්ඩුව තීරණාත්මක කඩයිමක් වෙත යොමුකරන්න ජවිපෙ විශ්වාසභංග යෝජනාව සමත්ව ඇති බවය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන අනාගතය සම්බන්ධවද මේ විශ්වාසභංග යෝජනාව තීරණාත්මක වන බව විචාරක අදහස වී තිබේ. එහිදී ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ ජවිපෙ මතුකරන ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළහොත්, සහ පසුගිය සමයේ සිදුකල ආකාරයට අනවශ්‍ය සත්භාවයක් නඩත්තු කරන්නට ගියහොත් අග්‍රාමාත්‍යවරයා දැඩි අපකීර්තියකට පත්වීමේ අවධානමක් තිබෙන බවය. එසේම එය ඔහු අපේක්ෂාවෙන් සිටින 2020 ජානාධිපතිවරණ අපේක්ෂකත්වයටද නියත ලෙස හානිකර වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

 ජනතා විමුක්ති පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පහත දැක්වෙයි.

No comments:

Ad
Powered by Blogger.