නීතිය හා සාමය: ෆොන්සේකා හැර වෙන අයකුට දෙන්න ජනපති එකඟයි.


නීතිය හා සාමය අමාත්‍ය ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නේ නම් ඒ ගැන සලකා බැලිය හැකි බව නිල නොවන මට්ටමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

දැනට ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවත්නා පොලීසිය හා සිවිල් ආරක්ෂක සංවිධාන ඇතුළත් මෙම අමාත්‍යංශය එ.ජා. පෙරමුණේ අමාත්‍යවරයකුට හිමිවිය යුතු බව පසුගියදා එ.ජා.ප.ය ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

මේ ගැන එ.ජා.ප.යේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ නිල නොවන මට්ටමේ අදහස් හුවමාරුවක් කරගෙන ඇතැයි ද පැවසේ.

මෙම ඉල්ලීම ගැන ජනාධිපතිවරයා තමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ අදහස් විමසූ බව පසුව දැනගන්නට ලැබිණි.

එම සාකච්ඡාවලින් පසුව අමාත්‍ය චම්පික රණවකගේ නම මෙම තනතුරු සඳහා යෝජනා කරන්නේ නම් සලකා බැලිය හැකි බව දන්වා ඇති බවද මීට පෙර වාර්තා විය.

ෆොනීට ඇමතිකම දෙන්නයි එජාප මන්ත්‍රීවරු 50කගේ අත්සන් ලිපියක් !

මේ අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය භාරදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් අස්සන් තැබූ ලිපියක් ලබන සඳුදා (06දා) ජනපතිවරයාට හා අගමැතිවරයාට භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියයි.

අදාළ ලිපිය පිළිබඳව මහා සංඝරත්නය, කාදිනල්තුමා ඇතුළු සර්ව ආගමික නායකයින් දැනුම්වත් කරන බවත්, මේ වන විට ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් පනස්නමදෙනෙකු ඊට අස්සන් තබා තිබෙන බවත් මන්ත්‍රී මහාචාර්ය මාරසිංහ මහතා පැවසීය.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පැවසූ මන්ත්‍රී මහාචාර්ය මාරසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩිම අත්දැකීම් පවතින්නේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාට බවත්, ඔහුගේ අවශ්‍යතාවය මහජන හඬ බවයි.

ජනාධිපති හරියටම කරනවා

නීතිය හා සාමය අමාත්‍යාංශයේ වෙනසක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසයි.

ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ලෙස සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් මන්තී‍්‍රවරයා නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ කටයුතු කරන ජනාධිපති සිරිසේන එම අමාත්‍යාංශයේ කටයුතු හොදින් සිදුකරගෙන යන බැවින් වෙනසක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

No comments:

Ad
Powered by Blogger.