සිරිසේනට එරෙහිව රනිල්ගෙන් දෝෂාභියෝගයක්!


ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මතුව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ එක් දිනක් තුළ අනාවරණය වූ කරුණු අනුව පවා ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් වෙනුවෙන් චෝදනා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් ඇති බව එම මන්ත්‍රී කණ්ඩායමේ අදහසවී තිබෙන බවය.

විශේෂයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් ලබාදුන් සාක්ෂි අනුව පෙන්නුම් කරන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනාධිපති සිරිසේන විසින් වගකීම් පැහැරහැර කටයුතු කර තිබීම බව එම මන්ත්‍රීවරුන් විශ්වාස කරන බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

අගමැති රනිල්ගේ මෙහෙයුමක් !

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීම සහ එය මාධ්‍ය හරහා සජීවීව විකාශය කිරීමේ අවස්ථාව සැලසීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනූව ක්‍රියාවට නැංවීමක් බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර සිට ජනාධිපති සිරිසේන ජාතික ආරක්ෂාව සම්බන්ධව මැදිහත්වීම සදහා විශේෂයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලය සදහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මේ ප්‍රහාරයේ වගකීම ජනාධිපති සිරිසේන වෙත යොමුකරලීමේ සූක්ෂම උපායක් මෙහිදී අනුගමනය කල බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මුජිබර්ගේ ප්‍රකාශය !

මේ අතර ඊයේ (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සදහන් කර සිටියේ පෙබරවාරි 19න් පසුව ආරක්ෂක මණ්ඩලය රැස්ව නොමැති බවත් ඒ අනුව එහි ප්‍රධානියා කවුද යන්න සොයාබලා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනායුතු බවය.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති බවත් එබැවින් මේ ආකාරයට දෝෂාභියෝගයක් ගෙනායුතු බව සදහන් කරන්නේ ජනාධිපති සිරිසේනට එරෙහිව හැර වෙනත් කිසිවෙකුට නොවන බවය.

අගමැතිගේ ඉලක්කය !

තවද යම්කිසි ආකාරයකට පාර්ලිමේන්තුව තුළ ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවහොත් එහිදී පැහැදිලි දේශපාලන බෙදීමක් හටගනු ඇති බවත් ඒ හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ඉලක්ක කිහිපයක් සපුරා ගැනීමේ අපේක්ෂාවක් පෙන්නුම් කරන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ බව සදහන් කරමින් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් මෙසේ පෙන්වා දෙයි.

ජනාධිපති සිරිසේනට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝග යෝජනාවක් ගෙනාවහොත් ඊට පක්ෂ සහ විපක්ෂ කදවුරු දෙකක් නිර්මාණය වෙයි.

එහිදී පළමුව ඒකාබද්ධ විපක්ෂයට තමන් නියෝජනය කරන කදවුර තීරණය කිරීමට සිදුවන අතර එම පාර්ශවය මධ්‍යස්ථව සිටියද එහි වාසිය අග්‍රාමාත්‍යවරයා සතු වෙයි. ඒ ඒ හරහා දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පෙරමුණට හැකිවන නිසාය.

එසේම ඒකාබද්ධ විපක්ෂයේ තීරණය මත ජනාධිපති සිරිසේන පරාජය වුවහොත් එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධව ශ්‍රිලනිප සහ පොහොට්ටු පාර්ශව අතර විවාදයක් ඇතිවීමේ පැහැදිලි ඉඩක් තිබේ.

ශ්‍රිලනිප කොටසක් එජාපෙ ට !

ජනාධිපති අපේක්ෂකත්වය කාට දෙන්නේද යන විවාදය තුළ මෙතෙක් උග්‍ර රාජපක්ෂ විරෝධී පාර්ශව දේශපාලන තීන්දුවක් ගැනීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

ඒ අනුව පිරිසක් බොහෝ දුරට කොන්දේසි විරහිතව එක්සත් ජාතික පෙරමුණ වෙත දිනා ගැනීමටත් අවස්ථාව සැලසේ.

නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය පක්ෂය බේරා ගැනීම වෙනුවෙන් වෙනත් අපේක්ෂකයකු ගැන අවධානය යොමු කිරීමට සිදුවන අතර ඒ අපේක්ෂකයා දෝෂාභියෝගයක් පරාජය වූ සිරිසේන වුවත් ඔහුට ජාතික ජන්දයක් ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ ඉතාම සීමිත අවස්ථාවකි. නැතිනම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සිරිසේනට සිහිනයක්ම වන තත්ත්වයක් මතුවේ.

අනෙක් අතට ජනාධිපති සිරිසේන දෝෂාභියෝගය පරාජය වීමක් කියන්නේ ඔහුට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇති වීමට පවා ඉඩ සැකසෙන වටපිටාවක් බිහිවීමය. ඒ තුළ ඇතිවන අර්බුදය හමුවේ ශ්‍රිලනිප ය කොහොමත් දුර්වල වෙයි.

පොහොට්ටුවේ විකල්පය !

මෙහිදී පොහොට්ටු පාර්ශවය එක්කෝ ජනාධිපති සිරිසේනව දෝෂාභියෝගය හමුවේ ආරක්ෂා කිරීම සදහා ඉදිරිපත් වීමට සිදුවෙයි. එහෙත් ඒ සම්බන්ධ දේශපාලනය තර්කය සිය පාක්ෂිකයන් තුළ තහවුරු කිරීම දුෂ්කර වෙයි. ඒ පොහොට්ටු පාර්ශවයේ සාමාජිකයන් අති බහුතරයක් ජනාධිපති සිරිසේන විරෝධී ප්‍රතිපත්තියක සිටීම නිසාය.

එසේම දෝෂාභියෝගයක් හමුවේ ජනාධිපති සිරිසේන ආරක්ෂා කිරීමට පොහොට්ටු පාර්ශවය ඉදිරිපත්වීම කියන්නේ තවත් වටයකින් ඔහුව ශක්තිමත් කිරීමක් ද වෙයි.

ඒ හරහා ජනාධිපති සිරිසේන සමග දේශපාලන වශයෙන් කේවල් කිරීමේ අවස්ථාව ඔවුන් වෙතින් දුර්වල වන අතර පොහොට්ටු අපේක්ෂකයකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමේ මගද ඇහිරීමේ අවධානමක් පවා මතුවිය හැකිය.

ජනාධිපති කොහොමත් අමාරුවේ !

මෙහිදී තීරණාත්මක වන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කවර තීන්දුවක් ගනීද යන්නය. මේ වන විට නම් සිරිසේන පොදු අපේක්ෂකත්වය ලබාගෙන 2015 රාජපක්ෂ රෙජීම පාලනය බිද දැමීමට නායකත්වය දීම පිළිබඳ බැසිල් රාජපක්ෂ සිටින්නේ සිරිසේන විරෝධී දැඩි ප්‍රතිපත්තියකය.

එබැවින් අවසන් මොහොත දක්වා ජනාධිපති සිරිසේන සම්බන්ධව පොහොට්ටු පාර්ශවය ගන්නා තීන්දුව ගැන ජනාධිපති සිරිසේනට දැඩි ආතතියකින් කටයුතු කිරීමට සිදුවීමත් නියතය.

කදවුරේ නායකයා !

එසේම දෝෂාභියෝග යෝජනාව සමග පාර්ලිමේන්තුව තුළ කදවුරු දෙකක් නිර්මාණය වූ විට එහි එක් පාර්ශවයක නායකත්වය ඉබේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත හිමිවෙයි.

දෝෂාභියෝගය ජයග්‍රහණය කළත් නොකළත් ඒ තුළ නිර්මාණය වන සිරිසේන - රාජපක්ෂ කදවුරට එරෙහි පාර්ශවයේ නායකයා ලෙස සමාජ මතයක් ඇති කිරීමටද අවස්ථාව අග්‍රාමාත්‍යවරයා සතු වෙයි.

ඒ හරහා 2020 ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ දියත්ව තිබෙන "අලුත් නායකයෙක් " වෙනුවෙන් වන සංවාදය සහ සාකච්ඡා අඩපණ කිරීමේ අවස්ථාවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සතු වෙයි.

මේ වන විටත් පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට කටයුතු කල යුතු බවය. එසේම අමාත්‍ය මලික් සමරවික්‍රම ද නව නායකත්වයක් සදහා පක්ෂයට ඉඩක් දියයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යෝජනා කර ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

No comments:

Ad
Powered by Blogger.