ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද JO මන්ත්‍රී කණ්ඩායම හමුවට.


අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්  විසින් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද (15දා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව් වාර්තාවෙයි.

මෙම යෝජනාව ඊයේ දිනයේ දී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඉදිරිපත් කළ අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ඇතිව මෙය ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු  ලෙසයි.

 මේ අනුව ඊයේ (14දා) කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාව අද (15දා) දිනයේදී ඒකාබද්ධයේ  මන්ත්‍රී කණ්ඩායම රැස්වීමෙන් පසුව කතානායකවරයාට යොමු කිරීමට නියමිත බව ඒකබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ඊයේ සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉඟියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බවයි.

 එසේම බැසිල් රාජපක්ෂ මහතා එවැනි විරෝධයක් දැක්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඊයේ  පෙරවරුවේ විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වෙන විට මන්ත්‍රීවරු 29 දෙනෙකු යෝජනාවට අත්සන් කර තිබූ අතර ඊයේ සවස වනවිට මන්ත්‍රීවරු 32කු මෙම යෝජනාවට අත්සන් තබා තිබුණි.

No comments:

Ad
Powered by Blogger.