විදේශීය බුද්ධි අංශ අපට ඉතාම අත්‍යාවශ්‍යයි: සංඝරත්නය දැනුවත් විය යුතුයැයි චම්පික කියයි.


විදේශීය බුද්ධි අංශ අපට ඉතාම අත්‍යාවශ්‍ය බවත්, මේ රටේ  අනන්‍යතාවය, ස්වෛරීත්වය පාවාදීලා ඒ කටයුත්ත කිරීමට අපි කිසිසේත්ම සූදානම් විය යුතු නැති බව මහා සංඝරත්නය  දැනුවත් විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි ඒ මහතා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති මහාසඟ සමුළුවට සහභාගී වෙමිනි.


එහි දී අමාත්‍යවරයා දැක්වූ දහස් වලින් කොටසක්,


විදේශ හමුදා ලංකාවට එන්නේ නෑ

"අද ලොකු බියක් ඇතිකර තිබෙනවා විදේශ හමුදා ලංකාවට එනවා කියලා. එවැනි කිසිම තත්වයක් නැති බව මම බොහොම වගකීමෙන් කියනවා. ඇතැම් විදේශ රටවල් ලංකාවෙන් ඉල්ලා සිටියා ඒ අයගේ දේපලවලට හානි වෙයි කියලා ඒවයේ ආරක්‍ෂාව සපයා ගන්න අවසර ඉල්ලලා. ඒවට මේ රජය කිසිම ඉඩකඩක් ලබාදුන්නේ නැහැ. මේ යම් යම් දේශපාලන කෑදැත්තන් විසින් ජනතාව තුළ, මාධ්‍ය තුළ ජනපි‍්‍රයතාවය ඇතිකර ගැනීම සඳහා විදේශ හමුදා හෙට ගොඩබහිනවා, අද ගොඩබහිනවා කිව්වට එවැනි කිසිම සිදුවීමක් සිදුවී නැහැ. ඇතැම් පිරිස් ආවා යම් යම් පරීක්ෂණ කරන්න. ඒ පිරිස් එම පරීක්ෂණ කරපුවාවේ. මේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් සිදුකළ යුතුයි. සිදුවන්නේත් එයයි.


විදේශීය බුද්ධි අංශවල තොරතුරු අපට ඉතාම අත්‍යාවශ්‍යයි.

ඒ වගේම විදේශීය බුද්ධි අංශවල තොරතුරු අපට ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. කොටි සංවිධානයේ නාවික ජාලය  ඕස්ටේ‍්‍රලියානු  මුහුදේදී විනාශ කළේ ලංකාවේ බුද්ධි අංශවල තොරතුරුවලින්ම පමණක් නෙමෙයි. විදේශීය බුද්ධි අංශ විසින් ලබාදුන් එම තොරතුරු නිසා තමයි එය සිදු කළේ. ප‍්‍රභාකරන්ගේ කොඳුනාරටිය කැඩුනේ එදා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය වගේ දෙයක් නෙමෙයි. රටවල් පනහක හැටක පැතිරී ගිය දෙයක්. ඒ නිසා විදේශ බුද්ධි අංශ සමග ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යාම අපිට අවශ්‍යයි. නමුත් මේ රටේ  අනන්‍යතාවය, ස්වෛරීත්වය පාවාදීලා ඒ කටයුත්ත කිරීමට අපි කිසිසේත්ම සූදානම් විය යුතු නැහැ. ඒ පිළිබඳවත් මහා සංඝරත්නය දැනුවත් විය යුතුයි. විශේෂයෙන්ම මේ බාල කතා කියලා හදවත්වල හැ`ගීම් අවස්සලා නිකන් මිනිස්සු කුලප්පු කරන පිරිස්වලින් අපි බොහොම ප‍්‍රවේශම් විය යුතුයි.


අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු නැතිවීම ලොකු ගැටළුවක්

ඒ වගේම මේ අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු නැහැ කියලා ලොකු ගැටළුවක් පැණ නැගී තිබෙනවා. 2500 ක් අත් අඩංගුවේ ඉන්නවා කියලා. එම තොරතුරු දැන ගැනීම ඥාතීන්ට අයිති දෙයක්. ඒ ඥාතීන්ට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථානයක්, අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔම්බුඞ්ස්මන් කෙනෙක්, දුක්ගන්නාරාල කෙනෙක් පත් කළ යුතුයි. මොකද අපේ රටේ කැරළි කෝලහලවල ඇති වූ නරකම තත්වයක් තමයි පිරිස අත්අඩංගුවට ගත්තහම තොරතුරු ලබාදීමට නොහැකි වීම. 

නව නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුව කටයුතු කරගෙන යනවා මාතෘකා 11 ක් හරහා

ඒ වගේම නව නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුව කටයුතු කරගෙන යනවා මාතෘකා 11 ක් හරහා. විශේෂයෙන්ම මේ ජාතීන්, ආගම් අතර මේ වෛරී ප‍්‍රකාශ කරන අය පිළිබඳව, ඒ  වගේම ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ වෙනත් අධ්‍යාපන ක‍්‍රම පවත්වාගෙන යන මේ මද්රාසා පාසල්. ශරියා පිළිබඳව. ඒ වගේම මේ රටට දේශන කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින් පාලනය කිරීම පිළිබඳව. ඒ වගේම ඇඳුම් පැළඳුම් පිළිබඳව ජාතික ආරක්‍ෂාවට සහ අනන්‍යතාවයට හානියක් වෙන, ඒ වගේම නොයෙකුත් ආගමික ස්ථාන අලූතින් ඇති කිරීමේදී ඒවා ලියාපදිංචි කිරීමේ ක‍්‍රම පිළිබඳව, ආගමික් සිද්ධස්ථාන සහ යාඥා මධ්‍යස්ථාන සඳහා පොදු නීති සම්පාදනය කිරීම සඳහාත්, ඒ වගේම එක ආගමික අමාත්‍යාංශයක් ඇති කරන්න  ඕනෙයි කියන එක. ඒ වගේම ආගමන විගමන නීතිරීති පිළිබඳව, විවිධ රටවල්වලින් හා වෙනත් ආයතනවලින් එන අරමුදල් පිළිබඳව අන්තර්ජාල තොරතුරු කාරණය වැනි මාතෘකා ගණනාවක් යටතේ දැන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරගෙන යනවා.  ඒ බව මේ අවස්ථාවේදී ඔබ වහන්සේලාට දැනුම් දිය යුතුයි. ගෞරවනීය මහා සංගරත්නයත් මේ නීති සම්පාදනයට දායක වෙලා, සෙසු ආගමික පිරිසත් දායක වෙලා අපි හැකි ඉක්මනින් මේ නීති සම්මත කරගෙන සමාජය තුළ තිබෙන සැකය, බිය, වෛරය තුනීකර ගන්න මේ නීති ඉතාම අත්‍යාවශ්‍යයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේත්, විශේෂයෙන්ම ඉස්ලාමීය මව්ලවීවරු ඇතුළු ආගමික උගතුන්ගෙත් විශාල වගකීමක් තිබෙනවා මේ අභියෝගය ජය ගැනීම සඳහා අපි කෙටි කාලීනව කි‍්‍රයාත්මක වීම ගැන. ඒ වගේම මේකට මුහුණ දීමට නම් අපට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ශක්තිමත් ආර්ථිකයක්,  ශක්තිමත් බලවත් රටක් තිබුණොත් විතරයි අපට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ සඳහා මේ රටට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් එක්ක විධිමත් සැලසුමක් සමග ආර්ථිකය ගොඩනගන වැඩසටහනක් අවශ්‍යයැයි" ද පැවසීය.


No comments:

Ad
Powered by Blogger.