මංගලගේ මිල සූත්‍රය මෙවර: වැරදුණා ද, වැරැද්දුවාද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය යළිත් වරක් පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මිල සූත්‍රය සඳහා පදනම් වනවා යැයි පැවසෙන සංරචකවලට අනුව ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් සිදුවනු ඇති බවය. එහෙත් සිදුවූයේ සියලූ සූත්‍රවලට එරෙහිව යමින් මෙරට සාමාන්‍ය ජනයා වැඩිවශයෙන් භාවිතයට ගන්නා ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්‍රල් මිල රු. 3.00 කින් ඉහළ යාමය. රජයේ පාලනය යටතේ පවතින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් මිල එසේ වෙද්දී ඉන්දියානු රජයේ පාලනය යටතේ ඇති ඉන්දීය ඔයිල් සමාගම විසින් සිය Euro 3 පෙට්‍රල් මිල රු. 7.00 කින් ඉහළ දැමීමට පියවර ගත්තේය.

එබැවින් මෙම මිල ඉහළ දැමීම, පුද්ගලික මෝටර්රථ, මෝටර් සයිකල් හා ත්‍රීවීල් භාවිතා කරන්නන් සෘජුව ඉලක්ක කර ගනිමින් සිදුකළ මිල ඉහළ දැමීමක් බව කිව හැකිය.  මක්නිසාද යත් මෙරට වැඩිවශයෙන් පරිභෝජනය වනුයේ එම ඉන්ධන වර්ගය වන බැවිනි. එය ඉහළ පැළැන්තියේ මෝටර් රථ භාවිත කරන්නන් ඉලක්ක කර ගෙන නැත්තේ ඔක්ටේන් 96 හෝ ලංකා IOC සමාගමේ Xtra Premium Petrol මිලෙහි ඉහළ යාමක් සිදු වී නොමැති බැවිනි. කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවල දී ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නොදමා තත්ත්වයෙන් ඉහළ සෙසු ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට රජය කටයුතු කළ අවස්ථාද විය.

පසුගිය 2018 වසරේ මැයි 11 දින සිට මිල සූත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මෙරට පාලනාධිකාරිය තීරණය කළද, මිල සූත්‍රය යනු කුමක්දැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුල් වරට අනාවරණය කළේ 2018 ඔක්තෝබර් 18 වෙනිදාය. එනම් එය හඳුන්වා දීමෙන් මාස 05ක කාලයක් ඇවෑමෙනි.

මිල සූත්‍රය සඳහා පදනම් වන දර්ශක සහ එය ගණනය වන්නේ පහත ආකාරයෙනි. මෙහි එක් එක් විචල්‍යයන් පිළිබඳ විස්තරයක් ඊට පහළින් දැක්වේ.

මිල සූත්‍රය

MRP = V i + V ii + V iii + V iv

උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii) + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv) 

(V i) වරායේ ගොඩබාන පිරිවැය

මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ. 

(V ii)සැකසීමේ පිරිවැය

සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය. 

(V iii) පරිපාලන පිරිවැය

මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ. 

(V iv)බදු පිරිවැය

මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය. 

මෙකී දර්ශක හතරෙහි එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු  (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ.  අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.

කෙසේ වෙතත් අද වන විට ලෝක වෙළෙඳපොළේ Brent බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 62.62 ක් වශයෙනි. ශ්‍රී ලංකාව මිල දී ගන්නා සිංගප්පූරු (Platt’s) බැරලයක මිල ඩොලර් 65 වටා පවතී. පසුගිය මැයි 10 දින මෙම මිල මට්ටම් පැවති‍යේ ඩොලර් 70 සීමාව ඉක්මවමිනි.

එසේම එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද වන රු. 176.47 කි. මෙය මීට මාසයකට පෙර එනම් මැයි 13 දින සටහන් වූයේ රු. 176.16 ක් ලෙසිනි. මේ අනුව ගෙවී ගිය කාලපරිච්ඡේදය තුළ ඉන්ධන මිල සඳහා විනිමය උච්ඡාවචනයෙහි බලපෑම පවතින්නේ අවම මට්ටමකය.

මේ අනුව ඉන්ධන මිල සූත්‍රයට ඊයේ දිනයේ දී සිදුවිය යුතුව තිබුණේ කුමක්දැයි වටහා ගැනීමට අමුතුවෙන් මොළය වෙහෙසීමට අවශ්‍ය වන්නේ නැත.

එසේම තවත් කරුණක් සිහියට ගත යුතුය. එනම් ලංකා IOC  සමාගම මෙම වසරේ මුල් මාස 03 තුළ දී පමණක් ඉන්ධන වෙළෙඳාමෙන් රුපියල් මිලියන 938 ක ශුද්ධ ලාභයක් ලබා ගෙන ඇති බවයි.


No comments:

Ad
Powered by Blogger.