රනිල්ගේ ජනාධිපති කැම්පේන් එක දෙරණේ දිලිත්ට: ජනයුගය මුද්‍රණාලයත් දිලිත්ට.


ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන බවට ඔහුගේ ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු සහ කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර පවසා ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අපේක්ෂාව ඇතිව සිටියත් මේ වන විට ඒ අදහස වෙනස් කරගෙන ඇති බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය 12 වනදා දෙරණ මාධ්‍ය ජාලයට අයත් කොළඹ විජේරාම මාවතේ පිහිටි "අරුණ" පුවත්පත් කාර්‍යාලයට ගිය අවස්ථාවේ ඇතිවූ සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන ආකාරයට අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර සරසවි සමකාලීනයන් වන අතර එහෙත් ඒ යුගයේදී ද කදවුරු දෙකක සිට ශිෂ්‍ය සංගම් දේශපාලනයේ නිරතව ඇත.

නමුත් පසුගියදා මේ දෙපළ හමුවූ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ ඔවුන්ට එක කදවුරක සිට ඉදිරි දේශපාලන කටයුතු කිරීමට අවස්ථාව උදාවී ඇති බවය.

ඩීල් එකේ මුල ඉෂිනි වික්‍රමසිංහ !

ඒ එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලැබෙන්නේ නම් එහි ප්‍රචාරක ව්‍යාපෘතිය දිලිත් ජයවීර වෙත පවරා තිබීම නිසාය.

එසේම එළැඹෙන ජනාධිපතිවරණය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙනවා නම් තම පූර්ණ සහය ඔහුට ලබාදෙන බවත් දිලිත් ජයවීර පවසා ඇත.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අමාත්‍ය පාඨලී සහ දිලිත් ජයවීර අතර හමුවෙදී දිලිත් විසින් මේ බව අමාත්‍ය පාඨලී චම්පික වෙත පැහැදිලිව පවසා ඇත.

අගමැති රනිල් දිලිත්ගෙන් කළ ඉල්ලීම !

අමාත්‍ය සාගල රත්නායකගේ දේශපාලන ජීවිතයට වසර 20ක් පිරීම නිමිත්තෙන් පැවති සාදයකට සහභාගී වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ තම ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් සහය දෙන ලෙස ඉල්ලා සිටි බවත් තමන් ඒ අවස්ථාවේම ඊට එකඟතාව පළකල බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ද එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘතිය භාරදී තිබුණේ දිලිත් ජයවීර ට බවත් සිහිපත් කරන දේශපාලන ආරංචි මාර්ග ඒ සදහා මැදිහත් වූයේ අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය භාරව කටයුතු කරන ඉෂිනි වික්‍රමසිංහ බවත් පවසයි.

එසේම මෙවරත් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය දිලිත් ජයවීර ට ලබාදීමට මැදිහත්ව ඇත්තේද ඉෂිනි වික්‍රමසිංහ බවත් පසුගියදා පැවති සාගලගේ සාදය සදහා දිලිත් ජයවීර ට ආරාධනා කර ඇත්තේද ඉෂිනි බව එම ආරංචි මාර්ග පවසයි.

ඇලෝසියස්ගේ මුද්‍රණාලයත් දිලිත්ට : දිනපතා අරුණ ඉන් පසුව !

මේ අතර අදාල ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව හේතුවෙන් මේ වන විට ව්‍යාපාරික කටයුතු ඇණහිට තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ට අයත් මුද්‍රණාලය ද දෙරණ මාධ්‍ය ජාලය විසින් ලබාගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් මේ වන විට මූලික එකඟතා ඇතිකර ගෙන තිබෙන බවත් වාර්තා වෙයි.

අර්ජුන් ඇලෝසියස් ට අයත් මේ අති නවීන මුද්‍රණාලය ආනයනය කරනු ලැබුවේ " ජනයුගය" පුවත්පත ආරම්භ කිරීම සදහාය. ඊට ප්‍රධාන කර්තෘ ලෙස මව්බිම පුවත්පතේ සිටි ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න සම්බන්ධ වූ අතර මාධ්‍යවේදී, ජනප්‍රිය දේශපාලන කොලම් රචකයකු වූ උපුල් ජෝෂප් ප්‍රනාන්දු ද එක්විය.

එහෙත් ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකරලීමෙන් පසුව එම පුවත්පත වසා දැමුණි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට දැන් දිලිත් ජයවීර සූදානම් වන්නේ එම මුද්‍රණාලය ලබාගෙන මේ වන විට සති අන්ත පුවත්පතක් ලෙස තිබෙන " අරුණ " දිනපතා පුවත්පතක් බවට පත්කිරීමට ය.

මේ වන විට ලක්බිම පුවත්පත මුලුමනින්ම වසා දමා තිබීමත් දිවයින පුවත්පත ඇතුළු පුවතපත් කිහිපයක ජනප්‍රියත්වය අහෝසි වී තිබීමත් හමුවේ නව හැඩයකින් යුතු දිනපතා පුවත්පතක් සදහා වෙළෙඳපොළ අවස්ථාව ඇති බව දිලිත් ජයවීර ගේ අදහස වී ඇති බවත් වාර්තා වෙයි.

No comments:

Ad
Powered by Blogger.