මහින්දගේ ගෙදර සාකච්ඡාවක්: මෛත්‍රී ජනමත විචාරණයකට සැරසෙයි?


කඩිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීමට දේශපාලන මූල්‍ය උපායන් යොදමින් සිටින ඒකාබද්ධ විපක්ෂය දැනට පවතින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර විරසකය වර්ධනය කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති හා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව අතර ඇති වී තිබෙන බල අරගලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

මේ සඳහා ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් හා ඔවුන්ගේ පක්ෂවල සහයද අපේක්ෂිත බව වාර්තා වේ.

කලින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ ගැටලුවට ද විසඳුම් ලැබෙන්නක් බැවින් පක්ෂ නායකයින් සියලුදෙනා එයට සිය කැමැත්ත පලකර ඇති බවද පැවසේ.

ජනපති අපේක්ෂක චමල් : පොහොට්ටු අපේක්ෂකයාගේ නම සැප්තැම්බර් මුල් සතියේ

පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ ජනප්‍රිය චරිතය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බැවින් ඔහුට අවස්ථාවදීමට හිත හදාගෙන සිටියද, වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා, වැනි අය ජනපතිවරණයට සුදුසු පුද්ගලයා ලෙස නම්කර ඇත්තේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාව බව කියවේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සැප්තැම්බර් මුල් සතියේ පැවැත්වෙන ප්‍රථම සම්මේලනයේදී රට හමුවේ හෙළි කරන බව එහි ප්‍රබලයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්ද එසේ නොවන්නේ නම් වෙනත් අයෙක්ද යන්න මහා සම්මේලනයේදී හෙළි කරන බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් නොවන බවයි.

පාර්ලිමේන්තුව විසුරුවන්න ජූලි මාසයේ යෝජනාවක්

මේ අතර අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ එළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක යෝජනාවකින් සම්මත විය යුතු බැවින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීමට සැලසුම් කර ඇති බවද එහි දැක්වේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සමග සමීපව ඇසුරු කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයකු සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව පැවසේ.

ජවිපේ සහයත් පෙරලන්න

මේ අවස්ථාවේ මහ මැතිවරණයකට ගියහොත් දැනට එජාපයට ලැබී ඇති මන්ත්‍රීධූර ප්‍රමාණයම ලබාගැනීමට හැකි බවද නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කර ඇත.

එජාපය පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ යෝජනාවට සහාය ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂයේද, ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගෙන තුනෙන් දෙකේ සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව ශ්රීලනිප ප්රබලයා එජාප දෙවැනි පෙළ නායකයාට පෙන්වා දී ඇතැයි එහි දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවත්වීමට අනුමැතිය ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් අදහස් විමසා ඇති බවයි.

19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ මාර්තු මාසය තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය.

ජනපති නීතිපති උපදෙස් අරගෙන?

කෙසේවුවද, නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක නීතිඥ නිෂාරා ජයරත්න එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් දිය නොහැකි බවද අරුණට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගෙන් කළ විමසීමේදී ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඡන්දයකට යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇති බව සඳහන් කර තිබේ.

මහමැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කර එය සංශෝධනය කිරීමෙන් පසුව බව ඔහු එහිදී පෙන්වා දී ඇත.

[SLM]

No comments:

Ad
Powered by Blogger.