මුස්ලිම් ඇමතිවරු ඇමතිධුරවලින් ඉවත්වේ: රජය අවදානමට ලක් නොකරන බවට පොරොන්දුවක්!


කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරුවලින් ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කරයි. අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් මේ බව ඊයේ (03) ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ තනතුරුවලින් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු මන්ත්‍රීවරයෙකු තීරණය කර නොමැති බවයි.

ඒ අනුව ආණ්ඩුව බෙලහීන කිරීමේ ක්‍රියාවක නිරත නොවන බවත්, පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස තවදුරටත් ආණ්ඩුව සමග සිටින බවත් ඔහු පැවසීය.

" දැන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් සහය ලබා දෙන්න අපි අපේ තනතුරු වලින් ඉවත් වෙන්න තීරණය කලේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ විමර්ශන සිදුකරන්න මාසයක කාලයක් විතර ගතවේවි. කිසිදු මුස්ලිම් ඇමතිවරයෙක් හෝ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් පැමිණිලි කරන්න, අදාළ අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරාවි" යනුවෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, එම්.එච්. අබ්දුල් හලීම්, ඒ.එච්.එම්.ෆවුසි, කබීර් හෂීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

No comments:

Ad
Powered by Blogger.