අඩපණ වූ ව්‍යාපාරික අංශයට සහන මල්ල මෙන්න.


පාස්කු ප්‍රහාරයෙන් පසු ආර්ථික අපහසුතාවට පත් වූ සෑම තරාතිරමක ව්‍යාපාරික අංශ සඳහා ලබා දී තිබෙන විශාල සහන මල්ල ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් සිදුවුණු අතර, සංචාරක ව්‍යාපාරයේ නිරත කුඩා පරිමාණයේ මැදිහත්කරුවන් සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය ලබා ගැනීමේ සහනදායි ක්‍රමයක් ජුනි 10දා සිට සියලුම බැංකු හරහා ආරම්භ කරන බවත් ඇමැති මංගල සමරවීර මහතා මෙහිදී අවධාරණය කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථික සමාලෝචනය සඳහා සාකච්ඡා කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ (3) අරලියගහ මන්දිරයට පැමිණියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසු මුහුණින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙමින් උණුසුම් ලෙස පිළිගත්තේය. විපක්ෂ නායකවරයා සමඟ පැමිණි මන්ත්‍රී කණ්ඩායමද පිළිගනිමින් සාකච්ඡාව පැවැති පරිශ්‍රයට ඔවුන් කැඳවාගෙන ගියේය.

මෙම සුහද සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති මංගල සමරවීර මහතා මේ බව පැවසීය.

තවදුරටත් මෙහිදී අදහස් දක්වමින් ඇමැති මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.

මෙහිදී කිසිම දේශපාලන කාරණාවක් සාකච්ඡා වූයේ නෑ. විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටිය දී ප්‍රහාරයෙන් අපහසුතාවට පත් වුණ සියලුම ක්ෂේත්‍රවල උදවිය සඳහා ලබා දුන් සහන සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා සිදු කළ විමසීමට සම්පූර්ණ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කරනවා.

පෞද්ගලික බස් රථ පවා පාඩු ලැබුවා. ඒ සම්බන්ධව ගැමුණු විජේරත්න මහතා කළ ඉල්ලීමකට අනුව සහන දුන්නා.

විශාල ලෙස මුදල් වැය කර තොරණ සැකසීම, ඒවායේ නිර්මාණ කටයුතු සිදු කළ පිරිස, ගායනාවල නිරතවෙන පිරිස ආදී ක්ෂේත්‍ර ගණනාවකින් සහ වාදක කණ්ඩායම් වලින් ලැබුණ ඉල්ලීම් ඉටු කර දී තිබෙනවා.

ඉතාමත් සුහදව මෙම සාකච්ඡාව පැවතුණා. අපහසුතාවට පත්වූවන් වෙනුවෙන් ඇති කර දුන් සහන විපක්ෂ නායකවරයා පිළිගත්තා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයට ගොදුරු වී කෙටි කාලයක දී රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම ගැන විපක්ෂ නායකවරයා සතුට පළ කළා. කෙටි කාලයකින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම ගැන රජයක් වශයෙන් අපටත් විශාල සතුටක්.

බඩගෝස්තරවාදී ජාතිවාදී අන්තවාදීන් කළු ජූලියක් බවට රට පත් කිරීමට ක්‍රියා කරනවා. එවැනි තත්ත්වයක් ඇති නොවී වළක්වා ගැනීම සෑමදෙනාගේම වගකීමයි. ඒ බව විපක්ෂ නායකවරයාත් පිළිගත්තා. වචනයෙන් අන්තවාදීන් ලෙස ක්‍රියා කරන පිරිස් ඉන්නවා. ආණ්ඩුකාරවරුන් ඔප්පු කළ හැකි වැරැදි ක්‍රියා කර තිබිය යුතුයි. නමුත් බඩගෝස්තර අන්තවාදීන්ගේ වචන රටම අවුලන්නට කරන ක්‍රියා පමණයි.

අගමැතිතුමා විපක්ෂ නායකවරයා අතර පැවැති සාකච්ඡාවට රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය මනෝ තිත්තවැල්ල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, එම අත්රේක ලේකම් සමන් අතාවුද හෙට්ටි යන මහත්වරු සහභාගී වූහ.

විපක්ෂ නායකතුමා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ මහත්වරු ද සහභාගී වූහ.

No comments:

Ad
Powered by Blogger.