නැවත තනතුරු භාර ගන්න: මහානායක හිමිවරුන් මුස්ලිම් මන්ත්‍රීන්ගෙන් ඉල්ලයි.


සිය තනතුරුවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් එම තනතුරු භාර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ. 

මහනුවර පැවැති සඟ සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහා සංඝරත්නය මේ බව සඳහන් කළහ.

ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පස්වරුවේ අස්ගිරි මහා නායක හිමියන්ගේ නිල ආරාමයේදී පැවති සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේලා ඒ බව අවධාරණය කළහ.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි ඇතුලු මහා සංඝරත්නය පැය හතරක පමණ කාලයක් සාකච්ඡා කළ අතර එහි අවසන් තීන්දුව ඉදිරියේදී දැනුම් දෙන බව සංඝසභාව වෙනුවෙන් අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ගතවූ කාලය තුළදී රට තුළ උද්ගතවී ඇති තත්ත්වය පිළිබදව කරුණ 15ක් ඔස්සේ සාකච්ඡා කළ බවත් ඇතැම් කරුණු පිළිබදව තීරණවලට එළැඹීම ඉදිරියේදී සිදුකරන බව අනුනායක හිමියන් සදහන් කළහ.

පසුගියදා මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම අපේක්ෂා නොකළ බවත් අන්තවාදී සිද්ධිීන් සම්බන්ධයෙන් සියලු දෙනා එලෙස ක්‍රියාත්මක වීම සිදු නොවිය යුතු යැයි ද උන්වහන්සෙ කීහ.

ජනතාව සමග ජීවත්වන මුස්ලිම් ජනතාව සමග අමනාපයක් නොමැති බව ද උන්වහන්සේ සදහන් කළහ.

මෙම විශේෂ සාකච්ඡාව සදහා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්, මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන දිඹුල්කුඹූරේ විමලධම්ම හිමි සහ නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සමාග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහා නියක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පූජ්‍ය අතන්ගනේ රතනපාල, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ඇතුලු මහා සංඝරත්නය පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

No comments:

Ad
Powered by Blogger.