ඇත්ත කියන්නේ කවුද: පූජිත ද? මෛත්‍රී ද?


"හෙට භයානක දිනයක් ! මොකක් හරි සිදුවෙන්න පුළුවන් " කියා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන අවස්ථා දෙකකදී තමන්ට පැවසූ බව පොලිස්පති පුජිත ජයසුන්දර පවසා ඇත.

ඔහු සඳහන් කරන ආකාරයට අප්‍රේල් 20 වනදා පස්වරු 6:30 - 8:00 අතර සහ අප්‍රේල් 21 වනදා පෙරවරු 6: 45 - 7:15 ත් අතර කාලය තුළ දුරකතනයෙන් මේ බව දැනුම්දී තිබේ.

මේ වන විට ජනාධිපති සිරිසේන විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත ජයසුන්දර ඊයේ (06) පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ කරුණු අනාවරණය කර ඇත.

එසේම "තමන්ට පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගත නොහැකි බවත්, එහි වගකීම බාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නම් විදෙස් තානාපති ධුරයක් ලබාදිය හැකි බව ජනාධිපති සිරිසේන පැවසූ බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

තවද තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලා වාර්තා කිරීමට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවත් ඒ හමුවේ වැරදිකරු වී විශ්‍රාම වැටුප පවා අහිමිව ගෙදර යනවාද ? එසේ නොමැතිව ඉල්ලා අස්වීමට සූදානම් නම් චෝදනා ඉවත්කර නිදහස් කිරීමට හැකි බවත් ජනාධිපති පැවසූ බව පොලිස්පති පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ පැවසීය.

බීබීසී වාර්තාව !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී පොලිස්පති පුජිත ජයසුන්දර ලබාදුන් සාක්ෂි පදනම් කරගෙන සම්බන්ධව බීබීසී සිංහල සේවය සකස් කල වාර්තාවක් පහත දැක්වෙයි.

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් කර තිබූ නමුත් ප්‍රහාර වළකාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි යන්න ප්‍රශ්නාර්ථයකි.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී වගකීමක් පැවරෙන පොලිස්පතිවරයා විසින් ප්‍රහාර වළකාලීම සඳහා කුමන ආකාරයේ පියවරක් ගනු ලැබුවේ ද යන්න සංවාදයට ලක් වන්නේ එවන් පසුබිමකදීය.

පහත දැක්වෙන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සහ ඒ හා බැඳුණු සිදුවීම් මාලාවේ ගමන් මගය.

01. කවුද මේ පූජිත් ජයසුන්දර?

පූජිත් ජයසුන්දර සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇත්තේ 1985 වසරේදීය.

එතැන් සිට ඔහු:

1991 - පොලිස් අධිකාරී ධුරයේ (SP)
1996 - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ (SSP)
2005 - නියෝජ්‍ය පොලිස්පති ධුරයේ
2010 - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කර ඇත.
ජනාධිපති නිර්දේශයෙන් වස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත් කරනු ලැබුවේ 2016 අප්‍රේල් 20 වන දාය.

එවක සිටි පොලිස්පති එන් කේ ඉලංගකෝන් විශ්‍රාම යාම නිසා පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා ව්‍යවස්ථා සභාව වෙත නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණ.

එස් එම් වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ අතර වූහ.

02. පොලිස්පති ධුරය සහ වගකිව යුත්තේ කාටද?

2015 - රාජපක්ෂ ආණ්ඩුව පෙරලා බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු ජාතික ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පැවතියේ නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේය. එතැන් සිට වසර 2018 වසරේ අග භාගය දක්වා නීතිය සහ සාමය අමාත්‍ය ධුරය පැවතියේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය යටතේය.

2018 වසරේ ඔක්තෝබර් 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද අතර ඉන් අනතුරුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සිරිසේන ජනාධිපතිවරයා විසින් තමන් යටතට ගනු ලැබිණි.

මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි වීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය නොවැම්බර් 09 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර එකී පියවර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය. පසුව පාර්ලිමේන්තුවේ බහුතර සහය ඇතිව රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් 16 වන දා යළි අගමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබීයදුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් නොමැතිව යළි කැබිනට් මණ්ඩලයක් පත් කෙරුණු නමුත් එතැන් පටන් මේ දක්වා පොලිස් දෙපාර්තමේන්තුව පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේය.

03. ප්‍රහාරයෙන් දින තුනකට පසු

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී දින තුනකට පසු එනම් අප්‍රේල් 24 වන දා පාර්ලිමේන්තුව රැස් විය.

එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ඔහුගේ කාර්ය භාරය සාකච්ඡාවට බඳුන් වූ අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ විශ්ලේෂණාත්මක කරුණු දැක්වීමක් සිදු කළ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ "පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් එන්නේ නැහැ. මේකට වගකිවයුත්තෝ මීට වඩා ඉහළින් ඉන්නවා," යනුවෙනි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විවේචන ඇතත් ප්‍රහාරය වළකාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු වෙත වගකීම පැවරීම ඔහු විසින් හඳුන්වනු ලැබුවේ "පහත් තැනින් වතුර ගලා යාමක්" ලෙසය.

04. පාස්කු ප්‍රහාරයෙන් දින අටකට පසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව අප්‍රේල් 29 වන දා පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එම තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මැයි 29 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිණි.

05 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

ජූනි 06 - අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පළමු වරට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේය.

2018 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පැවති ආරක්ෂක කවුන්සිලය රැස්වීමෙන් අනතුරුව පැවති සෙසු රැස්වීම් සඳහා තමන් සහභාගි විය යුතු නැතැයි ජනාධිපතිවරයා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යංශයේ එවක ලේකම් කපිල වෛද්‍යරත්න තමන්ට දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර එහිදී කියා සිටියේය. (රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සෘජුව ම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කළ බව ඔහු මීට ඉහතදී පවසා තිබිණි)

අනිවාර්ය නිවාඩු යැවීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැන්වූ බව ද ඔහු එහිදී කියා සිටියේය.

ආරක්ෂක කවුන්සිලයෙන් බැහැරව තැබූ තමන් පාස්කු ප්‍රහාරය වළකාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම කෙතරම් සාධාරණ දැයි යන්න ඔහු එහිදී අවධානයට ලක් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගනු ලැබූ කියන ඉහත කී පියවර සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය භාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගට ම පවසන්නේ තමන් ඉහත කී කිසිදු බුද්ධි තොරතුරක් පිළිබඳ දැනුවත්ව නොසිටි බවය.

(බීබීසී)

No comments:

Ad
Powered by Blogger.