හදිසි කැබිනට් හමුව කැඳවූ රහස මෙන්න!


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සදහා බුද්ධි නිලධාරීන් කැඳවීමට ඉඩනොදෙන බවට ජනාධිපති සිරිසේන විසින් අමාත්‍ය මණ්ඩලයට තරවටු කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙතින් සාක්ෂි ලබාගැනීම වැළැක්වීමට බව වාර්තා වෙයි.

ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලැබුණු බුද්ධි තොරතුරු ජනාධිපති සිරිසේන වෙත නිසිලෙස දැනුම් දුන්නාද නැද්ද යන තීරණාත්මක ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ නිලන්ත ජයවර්ධන සතුවය.

මන්ද පසුගිය කාලය පුරාවට බුද්ධි අංශ වාර්තා ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇත්තේ නිලන්ත ජයවර්ධන බව මේ වන විට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අවස්ථා ගණනකදී අනාවරණය වී ඇති නිසාය.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගියදා ලබාදුන් සාක්ෂිය එහිදී විශේෂ වෙයි.

නිලන්ත වරද පිළිගනීද ?

මේ වන විට පොලිස්පති පූජිත ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති අතර එහිදී ඔහුට නගා තිබෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ බුද්ධි අංශ වාර්තා නියමිත වේලාවට ජනාධිපති වෙත දැනුම්දී නොතිබීමය.

එහෙත් මේ වන විට පොලිස්පතිව ආරක්ෂක මණ්ඩලය සදහා නොකැඳවන ලෙස ජනාධිපති නියෝග කර තිබීම , ජනාධිපති වෙත බුද්ධි අංශ වාර්තා යොමුකරන්නේ නිලන්ත ජයවර්ධන වීම ඇතුළු කරුණු රැසක් විසින් ජනාධිපති සිරිසේන මේ සම්බන්ධව සිදුකරන ප්‍රකාශ වල විශ්වසනීයභාවය සම්බන්ධව ගැටලු මතුව තිබේ.

මෙහිදී ජනාධිපති සිරිසේන වෙත කිසියම් හෝ සහනයක් තිබෙන්නේ තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව බුද්ධි අංශ වාර්තා ජනාධිපති වෙත නිසි වේලාවට ලබානොදුන් බව පිළිගැනීම තුළ පමණි.

එහෙත් එවැනි පිළිගැනීමක් සිදුකළ හොත් නිලන්ත ජයවර්ධන ඓතිහාසික අපවාදයකට ලක්වන අතර සිය වෘත්තීය ජීවිතය ද මැකිය නොහැකි කැළලක් ඇතිකර ගැනීමට සිදුවේ.

බුද්ධි තොරතුරු හෙළිදරව් වෙයිද ?

අප ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන ආකාරයට මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු තවදුරටත් පවත්වා ගෙන යාමේ බරපතල අවශ්‍යතාවක් නොමැත.

එබැවින් ජාතික ආරක්ෂාව සම්බන්ධව සංවේදී වෙනත් කිසිදු බුද්ධි තොරතුරක් අනාවරණය වීමටද ඉඩක් නැත.

 තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම් වලටද සහභාගී නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි පැවසේ.

බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇතැයි දැනගන්නට තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩ වලට සහය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවය.

තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) රාත‍්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.

No comments:

Ad
Powered by Blogger.