ක්‍රීඩා ඇමතිතුමනි, දුෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කර - රටේ ක්‍රීඩාව රකින්න !


ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නව කළමනාකාරීත්වය පසුගියදා පත්වූ අතර ඔවුන්ගේ අනීතික භාවය හේතු කොටගෙන හොකී ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රියාකරන කණ්ඩායමක් විසින් ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගනු ලැබීය. එම අධිකරණ නියෝගය ජූලි මස 12 වැනිදා දක්වා දිගුකර ඇති අතර අධිකරණ තීන්දුව ලැබෙන තෙක් නව පාලනාධිකාරියට කිසිඳු කමිටුවක් පත්කිරීමේ හැකියාවක් නොලැබෙනු ඇත. මෙම නව කළමනාකාරීත්වය තුල සිටින පිරිස මීට පෙර ඔලිම්පික් කමිටුවේ සිටි පුද්ගලයන් සමඟද ක්‍රීඩාවේ නම භාවිතා කරමින් තම තමන්ගේ වරප්‍රසාද තරකරගත් පුද්ගලයින් බවට චෝදනා එල්ලවෙමින් පවතී.

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන හේමසිරි ප්‍රනාන්දු මහතාටද මේ සම්බන්ධව විවිධ පාර්ශවවලින් නොයෙකුත් චෝදනා එල්ලවනු දැකිය හැකය. එනම් ඒ මහතා වසර 13 ක පමණ කාලයක් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සහාපති ධූරය දැරුවද කිසිඳු ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට ඔහු හා ඔහුගේ පිරිස අසමත් වී ඇති බව කියවේ. එසේම විශාල විදෙස් මුදල් ප්රමාණයක් ගලා එන ආයතනයක් වන ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරීත්වය තුල ගැටළු පවතින බවද මෙලෙස චෝදනා කරන පිරිස් සඳහන් කරති.


මෙලෙස චෝදනා කරන පිරිස් ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩා අංශ යටතේ ක්රියාත්මක වන ක්‍රීඩා සංගම් වන අතර ඔවුන් වඩාත් අවදාරණයෙන් යුක්තව ක්‍රීඩාව අද පත්වී ඇති අවාසනාවන්ත තත්වය සහ මෙලෙස කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ශ්රී ලංකාවේ සියලු ක්‍රීඩාවන් මහත් අගාධයකට වැටිය හැකි බවද අනතුරු හඟවති.


හේමසිරි ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ එහි භාණ්ඩාගාරික වශයෙන් ක්‍රියාකොට ඇත්තේ ගාමිණී ජයසිංහ මහතාය. ජාතික හොකී සම්මේලනයේ හිටපු ලේකම්වරයා වන්නේද ඒ මහතාය. කෙසේ වෙතත් ගාමිණි ජයසිංහ මහතා භාණ්ඩාගාරික ලෙස ක්‍රියාකළ වසර 13 තුල විධිමත් විගණන වාර්තා සැකසීමක් සිදුකර නොමැති බව ඔහුට ඇති ප්‍රධාන චෝදනාවකි. ක්‍රීඩාවේ උන්නතිය කෙසේ වෙතත් විදෙස් සංචාර සහ වෙනත් වරප්රසාදිත දෑ ලබාගැනීමට නම් වහ වහා ක්රියාත්මක වන මොවුන් ක්‍රීඩා පරිපාලනය විධිමත් කිරීමට උනන්දු නොවන බව කියා සිටිති.


මේ සියලු කරුණු කාරණා දැක දැකත් ක්‍රීඩා අමාත්‍යංශය ඔලිම්පික් කමිටුවේ සහ හොකී සම්මේලනය ඇතුළු සෙසු ක්‍රීඩා පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදු නොකොට එකී සංගම්වලට රිසේ සේ ක්‍රියාත්මකවීමට ඉඩ හැරීම මෙරට ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන මහත්වූ වරදක් බවත් සමස්ත රටක ක්‍රීඩාව එක්තරා කමිටුවකට හෝ සම්මේලනයකට ඕනෑ පරිදි තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බැවින් වහා ක්‍රීඩා අමාත්යවරයා සහ අමාත්‍යංශය රට වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු බව ඔවුන්ගේ අදහසයි. 


දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යධූරය දරන සමයේ 2018 ජනවාරි මස නිකුත් කරනු ලැබූ ගැසට් පත්‍රයට අනුව එතුලින් නුසුදුස්සන් බවට පත්වූවන්ට පවා ඔලිම්පික් කමිටුවේ තනතුරු සඳහා තරංග කිරීමට අවස්ථාව ලබාදී ඇත. එසේ අවස්ථාව ලබාදීම පිලිබඳ චෝදනා එල්ල වනුයේ ක්‍රීඩා අමාත්‍යංශයේ ආර්. බී. වික්‍රමසිංහ මහතා වෙතය. ආර්. බී. වික්‍රමසිංහ සහ ගාමිණී ජයසිංහ යන මහත්වරුන් ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් වීමද මෙහිදී සැලකිය යුතු කරුණකි. පාසල් පදනම මත ආර්. බී. වික්‍රමසිංහ මහතා විවිධ පුද්ගලයන්ට මෙලෙස ඔවුනට රිසිසේ ක්‍රියාකරන්නට ඉඩ හැරීම කණගාටුදායක කරුණක් මෙන්ම එය වැරදිසහගත ක්රියාවකි.


හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහුගේ සමයේදී ඔලිම්පික් කමිටුවේ ඇතැම් අවභාවිතාවන් සම්බන්ධ චෝදනා ලබන අතර ගාමිණි ජයසිංහ මහතාද ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරිකවරයා ලෙස විගණන වාර්තා නිසිපරිදි සිදුනොකිරිම පිළිබඳව චෝදනා ලබා ඇති අතර ඊට අමතරව හොකී සම්මේලනයේ ක්‍රීඩා සංගම්ද ඔහුට චෝදනා කරයි. එසේම ආර්.බී. වික්‍රමසිංහ මහතා ක්රීඩා අමාත්‍යංශයේ සිටිමින් මෙවැනි අනීතික පුද්ගලයින් සඳහා රැකවරණය ලබදෙන්නෙකු ලෙස ක්රීඩා සංගම් විසින් චෝදනා එල්ලකර ඇත. එසේම මේ සමඟ කියවෙන තවත් නමක් පිළිබඳව ක්රීඩා සංගම් වෙතින් අපට වාර්තා විය එනම් ජාතික හොකී සම්මේලනයේ වත්මන් ලේකම්වරයා වන හිටපු ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාය. මේ මහත්වරුන් සිව්දෙනා  එක්ව හොකී ක්රීඩාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය ක්‍රීඩාවටම නොගැලපෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර තවමත් ක්‍රියාත්මක කරන බවටද ප්‍රබල චෝදනා එල්ල වේ.


ක්‍රීඩා  සංගම් රැසක්ම මෙම චෝදනාව එල්ලකරන අතර පසුගියදා තේරී පත්වූ හොකී සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුවන්නේ එහි ප්‍රතිපලයක් මතය. එලෙසම එම නඩුව සලකා බලා ජූලි 12 වැනිදා දක්වා කමිටු පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන්නේද මෙම ක්රියාවලිය තුල යම් අනීතික භාවයක් පවතින නිසා බව ක්‍රීඩා සංගම් වැඩි දුරටත් සඳහන් කරති.


සුමිත් එදිරිසිංහ මහතා පොලීසියේ සිට ක්‍රීඩා පරිපාලනයට එක්ව ක්‍රීඩා පරිපාලනයේ විශාල ගැටලුකාරී තත්වයක් ඇතිකළ බවත් එසේම තවත් පොලිස් නිලධාරියෙකු හොකී ක්‍රීඩා පරිපාලනයට අතපොවා ඇති බවටද වාර්තා වේ. සහකාර පොලිස් අධිකාරී දර්ශන විජේසිංහ නම් වන ඒ මහතා මේ වනවිට හොකී සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස ක්රියාකරනු ඇත.


වත්මන් හොකි සම්මේලනයේ ලේකම්වරයා වන සුමිත් එදිරිසිංහ මහතාගේ ක්‍රියා කලාපය පිලිබඳ ගැටලුකාරී තත්වයක් ඇතිව තිබියදී හොකි සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස තවත් පොලිස් නිලධරියෙකු පත්වීම සහ ඔහුගේ කාර්ය භාර්යය නිසාවෙන් හොකී සංගම් පොලිස් නිලධාරීන් මෙම ක්‍රීඩාවේ පරිපාලනයට අතපෙවීම සම්බන්ධව ප්‍රශ්නකාරී තත්වයකට මුහුණදී ඇත. එනම් ක්‍රීඩා පරිපාලනයට පොලිස් නිලධාරීන් පැමිණියද ඉන් කිසිඳු සෙතක් සිදුවී නොමැති බැවිනි.


එසේම වත්මන් ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වසර 20ක් පමණ හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ ඔලිම්පික් කමිටුව තුල කටයුතු කර තිබුනද ඔහු කිසිඳු සාධනීය පියවරක් ගෙන නොමැති බවත්, එකඳු ඔලිම්පික් පදක්කමක් මව්බිමට ගෙන ඒමට හෝ ඔවුන්ට නොහැකිවී ඇති බවත ක්‍රීඩා සංගම් වැඩිදුරටත් චෝදනා කරති. දිගින් දිගටම මෙලෙස ක්රීඩා පරිපාලනය අනීතික මෙන්ම අත්තනෝමතික අයුරින් ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව රටේ ක්‍රීඩාව රැකගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බව ක්‍රීඩා සංගම් බොහෝ ප්‍රමාණක් මේවනවිට අවදාරණය කර ඇත. 


ඉදිරියටත් මෙවැනි කණ්ඩායම් ක්‍රීඩා පරිපාලනය කරන්නේ නම් ඔලිම්පික් පමණක් නොව වෙනත් ක්‍රීඩාජයග්‍රහණයක් හෝ ජාත්යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීම අසීරු විය හැකි බව ක්‍රීඩා සංගම් අවදාරණය කරති. මෙසේ ක්‍රීඩාව වල පල්ලට යනතුරු නොසිට ක්‍රීඩා පරිපලනය විධිමත් කර, රටට ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත හැකි තත්වයක් ඇතිකිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්රීඩා අමාත්‍යංශය ක්‍රියාත්මක විය යුතු බව ක්‍රීඩා සංගම් දැඩිව අවදාරණය කරති.


වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩ බාරගන්නා අවස්ථාවේදී බොහෝ පිරිසක් ඒ මහතා පිලිබඳ අවංක විශ්වාසය තබා තිබූ බවත් එකී විශ්වාසය හානිකර නොගෙන රටේ අනාගතය වෙනුවෙන් සියලු ක්‍රීඩාවන් දියුණු කිරීමට කටයුතු කරන ලෙසත් එහිදී ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩා පරිපාලනය පිලිබඳ සිය අවදානය යොමුකර ආර්.බී. වික්‍රමසිංහ වැනි ක්‍රීඩා අමත්ය්න්ෂයේම සිටිමින් අනීතිකව කටයුතු කරන පුද්ගලයන් මෙන්ම හේමසිරි ප්‍රනාන්දු, සුමිත් එදිරිසිංහ, ගාමිණි ජයසිංහ යන මහත්වරුන්ගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳවත් සොයා බලා නිසි පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය සහාය ලබාදීමට ක්‍රීඩා සංගම් රැසක් සූදානමින් සිටින බවදාප හමුවේ සඳහන්කර ඇත.


එබැවින් විදෙස් ප්‍රදානයන් විශාල වශයෙන් හිමිවන මෙම ක්‍රීඩා පරිපාලන සංගම් එම මුදල් සහ ප්‍රධානයන් මගින් සිදුකර ඇත්තේ මොනවාද යන්න පිලිබඳ වඩාත් පුළුල් විමර්ශනයක් මගින් සොයා බලන ලෙසත් ඔවුහු අවදාරණය  කරයි. එම කටයුත්ත සිදුවන ආකාරය පිළිබඳව අවදානයෙන් සිටින ඔවුන් ඊට අවශ්‍ය සහාය අමාත්‍යවරයාට ලබාදීම සූදානම්ව සිටියි. එබැවින් හරින ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව නොපමාව ක්‍රියාකළ යුතුය.


No comments:

Ad
Powered by Blogger.