ඇමති මංගල - හරිත සමාජ අරඹයි: ප්‍රජා මූලික පරිසර සංරක්ෂණ වැඩසටහනක්!


2019 අයවැයේ තවත් යෝජනාවක් මල්ඵල ගන්වමින් ප්‍රජා මූලික පරිසර සංරක්ෂණ වැඩසටහනක් වන 'හරිත සමාජ' ආරම්භ කිරීම ඊයේ (08) මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කෙරිණි.

රුපියල් මිලියන 450ක වියදමෙන් ආරම්භ කෙරෙන මෙම හරිත සමාජ වැඩසටහන යටතේ පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්‍රජාව බලගැන්වීමට අපේක්ෂා කෙරේ. උත්සවය සඳහා වැඩසටහනේ මුඛ්‍ය කාර්යභාරයට උරදෙන දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී වී සිටියහ.

උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ගම් මට්ටමේ ජනතාව පරිසරය රැක ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී කරවා ගෙන ඔවුන් පෘථිවිය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් බවට පත් කර ගැනීම මෙහි අරමුණ බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

පරිසරය රැක ගැනීම අද වන විට ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. දියුණු රටවල් සාකච්ඡා කරන මාතෘකාවලින් අංක 01 බවට මෙය පත්ව ඇත්තේ ද එයයි. ලෝකයේ රටවල් වෙනත් රටවල් ආක්‍රමණය කිරීමේ යුගය දැන් අවසන් ය. නමුත් ඒ වෙනුවට වෙනත් ආක්‍රමණයක් අද පැමිණ තිබේ. ඒ පොලිතින් සහ ප්ලාස්ටික් ආක්‍රමණයයි.

පසුගිය දාක මම අලි රංචුවක් පොලිතින් ආහාරයට ගන්නා දර්ශන පෙළක් දුටුවෙමි. එම දුක මුසු දර්ශන පෙළ සිතට ගැටලු රැසක් ගෙන ආවේ ය. ලෝකයේ සංචාරයන්ට හොඳම ගමනාන්තය ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාව යි. 18, 19 වැනි සියවස්වල ශ්‍රී ලංකාවට පැමිණ පොත පත ලියන්න ලෝකයා තුළ උනන්දුවක් තිබිණි. අදත් ඒ හා සමාන උනන්දුවක් ලෝකයා තුළ ඇතිවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්දයෙනි.

පාස්කු ප්‍රහාරයෙන් පසු අපි බොහෝ දෙනා සිතුවේ සංචාරක කර්මාන්තය ගොඩ නැගීම පහසු නොවන බවය. එසේම ඒ සඳහා විශාල කාලයක් ගත වනු ඇතැයි ද අපි විශ්වාස කළෙමු. එහෙත් ලෝකයේ ඇතැම් සංචාරක සගරා පවසන පරිදි බෝම්බ ප්‍රහාරයට පසුවත් තවමත් ලොව අංක එකේ සංචාරක ගමනාත්නය ශ්‍රී ලංකාව ය. නමුත් ඒ ලස්සන දිගු කාලීනව පවතී ද යන්න සැකසහිත ය.

ඉරිදා වැනි නිවාඩු දිනක මෙරට ප්‍රසිද්ධ මුහුදු වෙරළවල දක්නට ඇත්තේ කුණු ගොඩවල් ය. ඇතැම් සංචාරකයන් ඒවා පිරිසිදු කරන අතර කණගාටුවට කරුණ නම් අපේ ඇතැමුන් ඒවා අධීක්ෂණයට මෙන් බලා සිටීමය .

දරුවන් කුඩා කල සිටම . නමුත් අපි කුඩා කාලයේ සිට දරුවන්ට මේ පිළිබඳ දරුවන්ට දිය යුත්තේ විධිමත් දැනුමකි. පරිසරයට ආදරයක් ඇති නව පරපුරක් නිර්මාණය කළ යුතුය. හරිත සමාජ පිහිටුවීමේ වෑයම ඒ වෙනුවෙනි.

මේ වැඩසටහන එක් ආණ්ඩුවකට සීමා විය යුත්තක් නොවේ. කුමන පක්ෂය බලයට ආව ද පරිසරය රැක ගැනීම ඉදිරියට රැගෙන යාමේ අදහසින් හරිත සමාජ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නෙමු.

පරිසරය රැකගැනීමේ වගකීම ඇත්තේ රජයට පමණක් නොවේ. පාසල් දරුවාගෙ ඉඳල විශ්‍රාමිකයා දක්වා මේ සඳහා දායක කර ගත යුතුය. ප්‍රාදේශීය හරිත උද්‍යාන සංකල්පය හරහා අපි ස්වේච්ඡාවෙන්ම පරිසරය රැක ගැනීමේ ක්‍රමය හඳුන්වා දීමට සූදානම් ය. දරුවාගේ උපන් දිනයේ පැලයක් හිටුවා අවුරුදු 18කට පසු එය දරුවාට පෙන්වන්න. ඔවුන් පරිසර හිතකාමී කෙනෙකු වනු ඇත. හිතවතකුගේ මරණයක් වෙනුවෙන් ද ගසක් හිටුවන්න. ඒක රැක බලා ගන්න ස්වේච්ඡාවෙන්ම මිනිස්සු ඒකට හුරු වනු ඇත.

මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඒ.ආර්.දේශප්‍රිය. ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ ඒ.කේ සෙනෙවිරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

No comments:

Ad
Powered by Blogger.